Thursday, September 26, 2013

යාය තුන | Yaya Thuna

බණ්ඩාර හොඳින් ඉංග්‍රිසි ඉගෙන ගත් නුවර පාසලක ඉගෙනෙ ගත් අයෙකි. එහෙත් ඔහුගේ පාසල් ගමන කඩාකප්පල් වූයේ තම පියාගේ වියෝවත් සමඟ ය. තම පාසල් ගමනට වියදම් කිරීම සඳහා අවශ්‍ය කරන මිල මුදල් තම මෑණියන්ට හොයා දීමට ඈ අපොහොසත් විය. මේ නිසාම ඔහු තම පියාගේ වතුපිටි වල වැඩපල කරගෙන සිටියේය.

කාලයත් සමඟම ඔහු හීං මැණිකා මවු අයෙක්ව විවාහ කර ගත්තේ ය.

මේ දෙදෙනාට මුතු මැණිකේ නම් දුවක්ද වූයේ ය. මෙලෙස ඔවුන් සතුටින් ජීවත් විය. බණ්ඩාරද ගෙදර කටයුතු මෙන්ම ගමේ පොදු වැඩවලටද ක්‍රියාකාරීව සහභාගි වු අයෙකි. එසේම ගමෙහි කොමිටියේ සබාපති කමද බණ්ඩාර දැරුවේය. ගමේ පොදු වැඩපල හොඳින් කරගෙන ගිය අයෙකු නිසා ගම්මුන්ට බණ්ඩාරව නැතිවම බැරි අයෙක් වූයේ ය.

දිනක් බණ්ඩාර ගෙදරින් පිට ගමනක් ගොසින් නැවත නාවේ ය. හීං මැණිකා සහ මුතු මැණිකා හුලුඅතුද පත්තු කරගෙන බණ්ඩාර සෙවීය.මේ යන අතරමගදී ගහක් යට බණ්ඩාරව මරා දමා ඇති අයුරු ඔවුන් දෙදෙනාට දැක ගත හැකි විය.

එතැන් පටන් කතාව කියැවීමට ඔබට බාරයි....

මෙම පොත චම්මින්ද වෙලගෙදර මහත්මයාගේ කෘතියකි.  එසේම 2004 වර්ෂයේ ඩී. ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය හිමිකරගත් නවකතාවකි.
ෆාස්ට් පබ්ලිශින් ප්‍රකාශනයකි !

පහතින් දක්වා ඇත්තේ එම පොතෙන් උපුටාගත් කොටසකි.

"මගේ අපුච්චයි අම්මයි එක්ක හිටපු ගේ. අපට දරු පැටියෙක් ලැබුනු ගේ. මට අද මගේ අපුච්චත් නෑ. අම්මත් නෑ. බාලේ ඉදන් හැදුනු තැනත් නෑ. ඉන්නේ ඔය ඇත්තෝ විතරයි.......පපු කැනැත්තේ ඇති වෙච්ච ඇයි හොඳයි කමට වෙනසක් නම් කරන්ඩ එපා මගේ අප්පෝ. මොන දුකක් ආවත් දරුවත් මාවත් බලාගෙන ගන්ඩ.අනුරාධපුරෙන් එහාට මං ගෙහුං නෑ ඕං"

Sunday, September 22, 2013

උපාධිය | Upadhiya

සංගපාල යනු කොස්තෝදර හාමිනේගේ එකම පුතා ය. ඈ ඔහුට උගන්වන්නේ තම දේපල වතුපිටි බලා කියාගෙන සිටීමට නොව ඈගේ සසර ගමන කෙලවර කර ගැනීම සඳහා සාසනයට පූජා කිරීම පිනිස ය. මේ නිසා කුඩා කලදී පවා මේ සංගපාලට නාමශ්ඨ ශතකය, බෞද්ධ ඇදහිල්ල වැනි පත පොත කියැවීමටත් තම සාදු අයියාගේ ඉගැන්වීම් වලටත් යොමු වීමට සිදු විය.

මේ නිසාම ඔහු වයස දහ අට වන විටත් පස්වන පන්තියේම රැඳී සිටීමට සිදු විය.ඔහුට වඩා දින තුනකින් වැඩිමල් වූ අනුලක්කා අටේ පංතියත් පසු කරමින් උන්නා ය.

දිනක් සංගපාලගේ මෑණියන්ට තම නෑදෑයකු වන විට්ටෙල් ගේ පුත් හාමුදුරුවන් ශාසනයේ සිට සිදු කරන අවැඩ අහන්නටත් දකින්නටත් සිදු විය. මේ නිසා තම පුතාව ශාසනයට බාරදිමට ඈ මැලි විය. මෙතැන් පටන් ඔහුව යොමු කලේ ඉඩකඩම් බලා කියා ගන්නට හා ඒවා වැඩි දියුණු කරවීමට ය.

පසු කලකදී ඔහු  උඩුගමින් රබර් වත්තක් මිලදී ගත්තේ ය. ඔහුගේ මෑනියන් ඉඩමක දෙමහල් සාප්පු සංකීර්ණයක් ඉදි කලා ය. එසේම ඔවුන් පදිංචිව සිටි නිවසද අළුත් වැඩියා කිරීමට අමතක නොකලේ ය.

මේ අතරතුර කාලයේදී අනුලා සිය අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරගෙන ගුරුවරියක ලෙස කැන්දලියැද්ද පාසලට පත්වීමක් රැගෙන ආවා ය.

මෙතැන් පසු කතාව කියැවීම ඔබට බාරයි.


මෙම පොත වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් මහතා විසින් 1966 වසරේදි රචිත පොතකි. මෙම පොතේ දෙවන මුද්‍රණය සිදු කල ඇත්තේ 2012 වසරේදි නිසා එතරම් අපහසුවකින් තොරව මේ පොත හොයා ගත හැකිය. මෙය සූර්ය ප්‍රකාශනයකි. !

Wednesday, September 18, 2013

එතෙර නිධානය | Ethera Nidhanaya

නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා නිමල් ය. නිමල්ගේ අම්මා කරුණාවතිය. ඈ රබර් කිරි කැපීමෙන් ලැබෙන සොච්චමෙන් දරු පවුල නඩත්තු කරනීය. තම පියා වූ හරමානිස් මෙලොව හැර ගොසින් ය.

අම්මා ලෙඩ වීම නිසා පවුලේ  සියල්ලෝම අසරණ වූවේ ය. මේ නිසාම නිමල් තම පාසල් ගමන නවත්වා රැකියාවක් සොයා ගැනීම පිණිස වික්‍රමසිංහ මහතා හමුවීමට ඔහුගේ වලව්වට ගියේය. වික්‍රමසිංහ මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.

වික්‍රමසිංහ මහතා තම මිතුරා වූ වර්නන් මහතාට ද මේ බව පවසා ඔහුට රැකියාවක් ලබා දුන්නේය. ඒ වර්නන් මහතාගේ නිවසේ වැඩපල කිරීමය. නිමල්ද වර්නන් මහතාගේ හිත දිනාගෙන ගෙදර වැඩපලද හොඳින් කරගෙන ජීවත් විය.

දිනක් වර්නන් මහතා හමු වීමට නාදුනන මිනිසුන් තිදෙනෙක් පැමිණියේය.

ඔවුන් කවුරුන්ද ? ඔවුන් වර්නන් මහතා හමුවීමට පැමිණියේ කුමක් සඳහා ද ?

කියවන්න එතෙර නිධානය !
මෙම පොත අයිරා තුෂාණි කරුණාරත්නගේ කෘතියකි. එසේම පැය දෙක තුනක් ඇතුලත එකදිගටම කියවිය හැකි සරල කතා තේමාවකින් යුක්ත පොතකි. එසේම පිටු සියයකින් යුක්ත පොතකි.

මෙම පොත සුභා ප්‍රකාශනයකි.

සන්තියාගෝ නම් සැරිසරන්නා | The Alchemist

සන්තියාගෝ නම් වු ළමයා කුඩා කල සිට ආසා කරන්නේ සංචාරයේ යෙදීමට ය. හැමතැනකම වාගේ සංචාරය කිරීමට නම් ඔහු මුදල් හදල් යහමින් ඇති අයෙකු විය යුතු ය. එසේත් නැත්නම් ඔහු එඩේරකු විය යුතු ය. මේ දෙකෙන්ම ඔහු තෝරා ගන්නේ එඩේරකු වීමයි. තවද ඔහුට බැටළු රැලක් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදල් සිය පියාගෙන් ලැබුනි.

මේ නිසා ඔහු සිය බැටලු රැල දක්කාගෙන තැනින් තැනට සැරිසරමින් ජීවත් විය.

දිනක් ඔහුට වයසක කාන්තාවක් මුණ ගැසිනි. ඈ සාස්තරකාරියකි.  සැන්තියාගෝ කිහිපවිටක් දැක ඇති හීනයක තේරුම ඇයගෙන් විමසා සිටියි. තමාට ඊජිප්තුවේ පිරමීඩ අසලින් නිධානයක් ලැබිය හැකි බව ඈ පවසා සිටියා ය. තවද එම නිධානයෙන් දහයෙන් පංගුවක් ඈට ලබා දිය යුතු බවත් ඈ පවසා සිටියා ය.

හීනයට අනුව ඔහු තම ඉරණම් ගමන සඳහා පිටත් වෙයි.

ඔහුට නිධානය ලබා ගත හැකි වේද ?

මෙය හුදෙක් සරල කතාවක්ම නොවේ. තම ඉරණම සොයා යන්නෙකුගේ ජීවිත කතාවක් ලෙස හුවා දැක්වුවාට වරදක් නැත. මිනිසාව ජීවත් කරවන්නේ බලාපොරොත්තු ය. එයින් සමහර බලාපොරොත්තු ඉටු කර ගත හකි වන අතර සමහර ඒවා ඉටු කර ගත නොහැකි ඒවා වෙයි. තවත් සමහරක් ඉටු වූවාට පසු ජීවිතේ ඉතුරු හරිය බලාපොරොත්තුවක් නැතුවම ගත වන බව පසක් කරන කතාවකි.

මෙම කෘතිය බ්‍රසීල ලේඛක පවුලෝ කොයියෝ විසින් රචනා කර ඇති අතර චූලානන්ද සමරනායකගේ ප‍රිවර්තනයකි.


මෙය විදර්ශන ප්‍රකාශනයකි. !

ගුරු සේවයේ රස කතා 2 | Guru Sewaye Rasa Katha 2

මෙය කෙටි කතා සංග්‍රහයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.පියසේන කහඳගමයන් ඔහුගේ ගුරු සේවයේදී ඇසූ දුටූ කතා එකතු කොට නිර්මාණය කරන ලද පොතෙහි දෙවන කොටස මෙය වේ. එකල අධ්‍යාපන ඇමතිව සිටියේ ඊරියගොල්ල මැතිතුමන් ය.

එතුමන්ගේ කාලයේ සිදුවූ කතා මෙම පොතේ අඩංගුව ඇත. එක හුස්මටම කියවාගෙන යා හැකි කෘතියකි.


මෙය ගොඩගේ ප්‍රකාශණයකි.ඔබත් කියවා නැත්නම් කියවා බලන්න.

පසුව ලියමි - මෙම පොතෙහි එන කතාවක් කියවන්න මෙතන ක්ලික් කරන්න

Tuesday, September 17, 2013

දිගාමඩුලු ගුරු ගීතය | Digamadulu Guru Geethaya

එක්තරා තරුණයෙකු තම මාමණ්ඩියගේ ගුවන් විදුලි යන්ත්‍රය අළුත්වැඩියා කිරීම සඳහා නාවලපිටියේ මමීලෑ ගෙදර යයි. එහිදි ඇතිවූ කතා බහකදී ඔහු කෙරෙහි ගුරු වෘත්තිය කෙරෙහි ආසාවක් හට ගනී. දවද ඒ කාලයේදි රටේ විවිධ පලාත්වල පුද්ගලිකව පවත්වාගෙන යන පාසල් රජයට පවරාගෙන එහි ගුරුවරු රජයේ ගුරු සේවයට අනුයුක්ත කිරීමේ වැඩ පිලිවෙලක් විය.

මේ නිසා ඉහත කී තරුණයාගේ සිතෙහිද පාසලක් පවත්වාගෙන යාමට සිතුවිල්ලක් ඇති විය. මේ සිතුවිල්ල ඔහු තම දෙමව්පියන්ට පැවසූවද පියා දැඩි ලෙස විරුද්ධ විය. නමුත් මෙම තරුණයාගේ මව මීට කැමැත්තක් දැක්වීම නිස ඔහු  ජයමාලපුර ප්‍රදේශයේ පන්සලක පොඩිවට පාසලක් පටන් ගනී.

ඔහු පාසල පවත්වාගෙන ටික කලක් යනවිට රජයට පවරා ගැනීම සඳහා ඉල්ලුම් කළේ ය. පාසල රජයට පවරා ගැනීමට නම් වෙනම ඉඩමක වූ ගොඩනැගිල්ලක පාසල පවත්වාගෙන යා යුතු බව රජයේ නිවේදනයේ සඳහන් විය. මේ නිසා මෙම තරුණයා මහත් අසීරුතාවයකට පත් විය. නමුත් ඔහු මෙම වෑයම අත්හලේ නැත.

ඔහු ප්‍රදේශයේ ධනවතුන් සොයා ගියේ ය. ඒ පාසලට ඉඩමක් පරිත්‍යාග කිරීමට හැකි දැයි දැනගැනීම සඳහාය. ඔහු මෙසේ ධනවතුන් කිහිපදෙනෙකු සොයා ගිය ගමනේදි අක්කරයක පමණ ඉඩමක් පරිත්‍යාග කිරීමට කැමති ධනවතෙකු කැමැත්ත දැක්වී ය.

මෙයින් උද්දාමයට පත් වූ තරුණයා, ගමේ මිනිසුන් සමග එකතු වී පාසල සඳහා ගොඩනැගිල්ලක්  තනා එහි පාසල පවත්වාගෙන ගියේ ය.

 මේ තරුණයා වෙනකෙකු නොව මෙම පොතෙහි කතෘ ගුණශීල අඹවත්තයන් වේ. ඉහත සැකවින් දක්වා ඇත්තේ දිගාමඩුලු ගුරු ගීතය පොතෙහි මුල් පරිඡේදය තුල සඳහන් කතාව වේ.

ඉන්පසු කතාවේ සිදු වන්නේ කුමක්ද ? කියවන්න අපේම ගුරු ගීතය ! 

දිගාමඩුලු ගුරු ගීතය හුදෙක් නවකතාවක්ම නොවේ. මෙය අඹවත්තයන්ගේ ස්වයං චරිතාපදානයක් ද වෙයි. එසේම සැබෑ ගුරුවරයෙකුගේ අත්දැකීම් ඇතුලත් මාහැඟි කෘතියකි.

සෑම ගුරුවරයෙකුම කියැවිය යුතු කෘතියක් ලෙස මා මෙම පොත හඳුන්වා දීමට කැමති ය.

ග්‍රන්ථ නාමය - දිගාමඩුලු ගුරු ගීතය
ලේඛකයා -  ගුණශීල අඹවත්ත
පිටු -  247ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-5280-60-6
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.

 
මෙම පොත ගුණසේන, සරසවි පොත් හල් වලින් ලබා ගත හැකි ය. පොත සොයා ගැනීමට අපහසු නම් පහත අංකයෙන් ගුණශීල අඹවත්තයන් අමතන්න.
ගුණශීල අඹවත්ත -  071 80 16 632

පසුව ලියමි - දිගාමඩුලු ගුරු ගීතය පිළිබඳ දයා දිසානායකයන් ලියූ විචාරය කියවන්න මෙතන ක්ලික් කරන්න. 

Saturday, September 14, 2013

ස්වර්ණ පුස්තක සම්මානය 2013 | Swarna Pusthaka Award 2013

හැම අවුරුද්දකම වගේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමිව පවත්වන වසරේ ප්‍රසස්ථම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ මෙවර අන්තිම වටයට නිර්දේශිත පොත් 5ක් ගැන පසුගිය ලිපියක මා සඳහන් කලා මතකයි නේ.

එම පොත් පහෙන්ම ජයග්‍රාහි  පොත පසුගිය සැප්තැම්බර් 10 වෙනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදි ප්‍රකාශයට පත් කලා !

මෙවර ස්වර්ණ පුස්තක සම්මානයට හිමිකම් කියන්නේ  කීර්ති වැලිසරගේ විසින් රචිත "කාල සර්ප" නවකතාවයි !

කීර්ති වැලිසරගේ මහතාට මගේ උනුසුම් සුබ පැතුම් !

අවසන් වශයෙන් මා කියයුතු දෙයක් ඇත.එනම් මෙම සම්මාන උළෙලෙදි කාල සර්ප නවකතාවට සම්මානය හිමි වීම ගැන මගේ කිසිදු පැහැදීමක් නැත.මන්දයත් මේ පොත එතරම් සාර්ථක පොතක් ලෙස මා දකින්නේ නැත.

මීට වඩා සෙංකොට්ටං පොත හොඳ යැයි මගේ සිතුවිල්ලයි !

Tuesday, September 10, 2013

සඳුන් සුවඳ | Sandun Suwanda

සඳුන්ගේ අම්මා, සඳුන්වයි එයාගේ තාත්තවයි තනිකරලා මේ ලෝකේ හැර යන්නේ සඳුන්ට අවුරුදු 4ක් විතර පුංචි අවදියේයි. ඒ කාලේ ඉදන්ම සඳුන්ව බලා කියාගන්නේ සඳුන්ගේ ආච්චි අම්මා. ආච්චි අම්මා වයස නිසා එයාට ඒ හැටි වැඩක් පලක් කරන්න අමාරුයි.

සඳුන්ගේ අම්මා නැති වෙලා අවුරුද්දේ දානේ දීලා සතියකට විතර පස්සේ සඳුන්ගේ තාත්තා පුංචි අම්මා කෙනෙක්ව ගෙදර ගේනවා. මුලදි මුලදි මේ පුංචි අම්මා සඳුන්ට ආදරෙන් හිටියත් පහු පහු වෙනකොට මේ ආදරේ ටික ටික අඩු වෙනවා.

පුංචි අම්මා සඳුන්ට වෙනස්කම් කරන්න පටන් ගන්නවා. සඳුන්ට කියලා ගෙදර දොරේ වැඩපල කරගන්නවා. මේ වෙනස්කම් කිරිල්ල ගොඩක්ම වැඩි උනේ පුංචි අම්මට පුතෙක් උපන්නට පස්සේ. පුතාගේ වැඩත් මේ සඳුන්ට කරන්න සිද්ධ වෙච්ච නිසා සඳුන්ගේ ඉස්කෝලේ ගමනත් කඩා කප්පල් වෙනවා.

මුලදි මුලදි බැනුම් වලින් නැවතුන පුංචි අම්මා, පස්සේ පස්සේ සඳුන්ට දඩුවම් කරන්නත් පටන් ගන්නවා. මේ නිසාම සඳුන්ට ගෙදර ඉදිල්ලත් එපා වෙනවා. දිනක් උදෑසනම සඳුන් ගෙදරින් පිට වෙලා කෝච්චියෙන් කොළඹ එනවා.

ඉන්පසු සිදු වන්නේ කුමක්ද ? කියවන්න සඳුන් සුවඳ !

පාසල් යන වයසේ ළමුන්ට ආදර්ශයක් ගත හැකි ළමා නවකතාවකි, සඳුන් සුවඳ.

ග්‍රන්ථ නාමය - සඳුන් සුවඳ
ලේඛකයා -  යසවර්ධන රුද්‍රිගු
පිටු -  187ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-2014-41-7
ප්‍රකාශකයෝ - ඇස්. ගොඩගේ සන සහෝදරයෝ  ප්‍රකාශණයකි.


පරණ පොතක් නිසා සොයා ගැනීමේ අපහසුතා ඇති විය හැක. ඒ නිසා ගොඩගේ පොත් මැදුරෙන් විමසා බැලීම වටී.

Sunday, September 8, 2013

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා | Sansararanye Dadayakkaraya

දඩයක්කාරයා ජීවත් වූයේ නවගත්තේගමට වඩා ගවු ගණනක් ඈත වනාන්තරයේ ය. ඔහුව මේ වනාන්තරයට ගෙන ආවේ වෘක්ෂ දේවතාවෙකි.ඒ ඔහුගේ පුංචි අවධියේ ය. එකල්හි ඔහු "ගොලු පුංචා" ය. ගොලු පුංචාව සංසාරාරණ්‍යයට ගෙන ආවේ එහි භාරකාරත්වයට ය.

ගොලු පුංචාට මෙම සංසාරාරණ්‍යයේ භාරකාරත්වය ලැබෙන්නේ වනාන්තරයේ විසූ හාමුදුරුවන්ගෙන් ය. මෙම වනාන්තරයේ නිධාන සතක් වෙයි. එසේම සභ්‍යත්ව හතක් ද වේ. මේ සියල්ලේ භාරකරු ගොලු පුංචා ය.

ගොලු පුංචා දඩයක්කාරයා වන්නේ එක්තරා සිදුවීමකට පසු ය.

දිනක් මේ වනාන්තරයට නිධන් සොරුන් පැමිණේ. ඒ ගල් ගුහාවක ඇති නිධානයක් ගැනීම සඳහා ය. ඔවුන් බිලි දීම සඳහා කන්‍යාවක් ද රැගෙන ආවෝ ය. ගල් ගුහාවේ සිටි බහිරවයාට මතුරා ඔහුව අඩපණ කර නිධානය ගන්න සූදානම් විය.එහෙත් ඔවුන්ට නිධානය ගන්නට ලැබුනේ නැත.

පසුව ගොලු පුංචා කන්‍යාව ද බේරාගෙන වනාන්තරයට ගියේ ය.

එතැනින් පසුව කතාව කියැවීම ඔබට බාරයි.ඉහතින් දක්වා ඇත්තේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පොතේ එන කතාවෙන් කොටසකි.

 ග්‍රන්ථ නාමය - සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
ලේඛකයා -  සයිමන් නවගත්තේගම.
පිටු -  94ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6771-38-1
ප්‍රකාශකයෝ - ෆාස්ට් පබ්ලිශින්  ප්‍රකාශණයකි.


පහතින් දක්වා ඇත්තේ පොතෙන් උපුටා ගත් කොටසකි.

දඩයක්කාරයා ඇය අත හැරියේ ය. ඔහු විස්මයෙන් ඇලළී දෑස පිහිදා බැලුවේ ය.සලිත වී ගිය බෙරකාරයාගේ දුව කොයිබ ද ? ගල් කන්ද පැලී විවර වන්නට ගිගුම් දීගෙන ගැසූ බෙරය කොයි ද ? බෙරකාරයාගේ දුව දණින් වැටී බෙරය බදාගෙන සිටියා ය.

"මා වෙත එව දැරිය !"

ඈ බෙරය අත හැරියා ය. එය පෙරලී ගොස් ගල් බෑවුම දිගේ පහලට වැටීවනාන්තරයේ ගස් මුදුන් උඩට වැටෙනවා බොල් හඬින් ඔහු හැඳින්නේ ය.

නවගත්තේගමයන්ගේ පොත් වලට ප්‍රිය කරන ඔබ අනිවාර්යෙන්ම මෙම කෘතිය කියවා ඇති බවට සැකයක් නැත. ඔබ කියවා නැත්නම් කියවා බලන්න. :) 

Thursday, September 5, 2013

දඩයක්කාරයාගේ කතාව | Dadayakkarayage Kathawa

දඩයක්කාරයාට ගමේ මිනිසුන් සැලකුවේ පස් පවින් කරවටක් ගිලී සිටින අයෙකු ලෙස ය. නමුත් ඔහු අනෙක් මිනිසුන් මෙන් නොව සුරා සූදුවෙන් තොර ය. මුසවාදයෙන් ද තොර ය.  ඔහු කරන එකම වරද නම් සතුන් මැරීම ය. ඔහු සතුන් මැරුවද එහි සැලකිය යුතු තරම් මස් වලදන්නේ ගමේ මිනිස්සුන් ය.

මෙලෙස කලක් ගත වන විට දඩයක්කාරයාට ගෝමරීගෙන් පණිවිඩයක් ලැබේ. ඒ ඇයගේ හේනට ගොඩ වදින ගෝනෙකු එලවා දැමීම සඳහා ය.ගෝනාට අටවන ලද තුවක්කුව පත්තු වී ගෝමරීගේ මිනිහාත් ගෝමරීත් මිය යයි. පසුව මේ දෙදෙනාගේ පුතා වන පොඩිකන්දය පැලේ තනිවේ. මේ අල්ලපනල්ලේ පොඩිකන්දයා රංකිරී නම් වූ කෙල්ලක තම අඹුවට ගෙන තම පැලේ ජීවත් වෙයි.

පසුව දඩයක්කාරයා, ගෝමරීගේ පුතාට දඩයම් කිරීම උගන්වයි. පොඩිකන්දයා ද දඩයක්කාරයා මෙන්ම ශූර දඩයක්කාරයෙකු බවට පත් වේ.

මේ ඔවුන්ගේ කතාව ය. ඉතිරිය කියැවා බැලීම ඔබට බාරයි.

සයිමන් නවගත්තේගම පාඨක ඔබ මෙම කතාව ඉතාමත් ආශාවෙන් කියවා බලනු ඇතැයි මා සිතමි. මෙහි මතුපිටින් කියැවෙන කතාවට වඩා ගැබුරින් කියවා බලන්නේ නම් ඉතාමත් වටින බව මගේ සිතුවිල්ලයි.

 ග්‍රන්ථ නාමය - දඩයක්කාරයාගේ කතාව
ලේඛකයා -  සයිමන් නවගත්තේගම.
පිටු -  158ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6770-53-7
ප්‍රකාශකයෝ - ෆාස්ට් පබ්ලිශින්  ප්‍රකාශණයකි.




මෙම පොත ඔබ කියවා නැත්නම් කියවා බලන්න.
ඕනෑම සරසවි පොත් හලකින් වුවද මෙම පොත ලබා ගත හැක.

සසර සරන්නෝ | Sasara Saranno

සුන්දරම් හා තංගමනී යුවල ගඟ අසල පිහිටි දුගී පැලක ජීවත් වූ දෙදෙනෙකි. ඔවුන්ට ජානකී නම් වූ දුවක් ද රංගනාදන් නම් වූ පුතෙක්ද සිටියෝය. මේ සියළුම දෙනා ජීවත් වූයේ සුන්දරම්, යකඩ කෑලි විකුණා ලැබෙන ආදායමෙනි. තංගමනී දරුවන් දෙදෙනාද රැකබලාගෙන ගෙදර දොර වැඩ කටයුතු කරමින් කාලය ගත කලා ය.

දිනක් සුන්දරම් දෙමල කෝලහාලයකට මැදි විය.උරණ වූ සිංහලයන් සුංදරම්ගේ ඇඟට පෙට්‍රල් වත් කර ගිනි තිබ්බේ ය. මේ සිදුවීම් සියල්ල ඔහුගේ පවුලේ අය ඉමහත් ශෝකයකින් බලා සිටියෝ ය.

සුන්දරම්ගේ අකල් වියෝවත් සමග ඔහුගේ පවුලේ සියළු දෙනාම යාපනය බලා පිටත් විය.

එතකින් සුන්දරම් හා තංගමනිගේ කතා පුවත සහිත පරිච්ඡේදය අවසාන වේ.ඉන්පසු පටන් ගැනෙන්නේ වික්ටර් හේනේගමගේ සහ මල්ලිකාගේ කතා පුවත සහිත පරිච්ඡේදය වේ. ඉන් අනතුරුව ලයනල්ගේ සහ අනුලාගේ ආදර අන්දරය දිග හැරේ.

මෙම කතාව විවිධ පරිච්ඡේද වලට වෙන් වූවත් සංසාරික ලෙස අප වියෝජනය නොවී පවතින බවත්  එක් ආත්මයක දෙමල ජාතිකයෙක් ලෙස ඉපිද තවත් ආත්මයක සිංහලයෙකුව ඉපිද මියෙන සංසාර චක්‍රයක කොටස් කරුවන් බව කියාපාන නවකතාවකි.

මෙම එක් එක් චරිත පෙර ආත්ම වල කවුරුන් ලෙස සිටියා දැයි  කියාපාන අපූරු නවකතාවකි. තව ද මෙම නවකතාව පරිච්ඡේද ලෙස වෙන්වී තිබුණද අවසානයේ එක් එක් චරිත එකතු වී සංසාර චක්‍රය සම්පූර්ණ කරයි. මේ නිසා පාඨකයා තුල පවතින කුතුහලය කතාවේ අන්තිම පරිච්ඡේදය කරා යනතෙක් සුරැකිව පවති.

 සසර සරන්නෝ කෘතිය භද්‍රජි මහින්ද ජයතිලකයන් විසින් රචිත භීෂණ නවකතා වලින් එකකි. එසේම එක හුස්මටම කියවාගෙන යාම සඳහා පාඨකයාව පොලබවන කෘතියක් බව මා පැවසිය යුතුමය.

ග්‍රන්ථ නාමය - සසර සරන්නෝ
ලේඛකයා -  භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  120ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-5911-49-2
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.


භද්‍රජි පාඨක ඔබ මේ පොත ඉමහත් ආසාවෙන් කියවනු ඇතැයි මා සිතමි.
දිවයිනේ ඕනම සරසවි පොත් හලකින් හෝ ස්ටැම්ෆර්ඩ් ලේක් පොත් හල් වලින් ලබා ගත හැකි ය.

Tuesday, September 3, 2013

2013 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට පෙර | Before the Swarna Pusthaka Award

මේ සැප්තැම්බර් මාසයයි !

සැප්තැම්බර් මාසය කිව්වහම පොත් කියවන අපිට මුලින්ම මතක් වෙන්නේ සාහිත්‍යය මාසය කියලා.ඊට පස්සේ මතක් වෙන්නේ කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය ! ඊට පස්සේ මතක් වෙන්නේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පොත් ප්‍රදර්ශනයට සමගාමිව පවත්වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල.

ඉතින් මෙදාපාරත් ස්වර්ණපුස්තක සම්මාන උළෙලේ අන්තිම වටයට පොත් පහක් තේරි පත්වෙලා තියෙනවා. මුලින්ම ඒ ටික කියලා ඉන්නම්කෝ.

1. අත අත නෑර - සුමිත්‍රා රාහුබද්ධ (ෆ්ලැට්ෆෝම් ෆෝ ඕල්ටර්නේටිව් කල්චර් ප්‍රකාශකයෝ)
2. කාල සර්ප - කීර්ති වැලිසරගේ (සරසවි ප්‍රකාශකයෝ)
3. කන්දේ වීදිය - කපිල කුමාර කාලිංග (කිංකිණි ප්‍රකාශකයෝ)
4. සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (සන්ථව ප්‍රකාශකයෝ)
5. තැප්පා සේම ගිනි - සමරවීර විජයසිංහ (සූරිය ප්‍රකාශකයෝ)



ඔන්න ඔය පොත් ටික තමයි අන්තිම වටයට තේරීපත් වෙලා තියෙන්නේ.

ඔතන තියෙන ලිස්ට් එකෙන් මුල් පොත් දෙක ඇරෙන්න ඉතුරු පොත් තුන මම කියවලා තියෙනවා ඒ අතරින් නම් සෙංකොට්ටං පොත ගොඩක්ම හොඳයි. ඒ නිසා ඒ පොතට සම්මානය ලැබේවි කියලා හිතනවා.  ඒත් ෂුවර් නෑ. බලමු නෙහ් :)

හැබැයි තව දෙයක් තමා ස්වර්ණ පුස්තකේ ලැබුණා කියලා ඒ අවුරුද්දේ හොඳම පොත ඒකමයි කියලා කියන්න නම් අමාරුයි.  ඊට වඩා හොඳ පොත් තියෙන්න පුලුවන්. ඒ නිසා මේ රාමුවට කොටු වෙන්නේ නැතුව තමන්ගේ තේරීම් කරනවනම් තමා වඩාත්ම හොඳ.

මේ මාසේ ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ 10 වෙනිදට තමයි සම්මාන උළෙල පවත්වන්නේ. අන්න එදාට අපි බලාගම්මු මොකද්ද 2013 වසරේ ප්‍රසස්ථ නවකතා කියලා. එතකන් බලාපොරොත්තු සහගතව ඉමු.

 එහෙනම් මං ගිහින් එන්නම් ! ජයවේවා !

Monday, September 2, 2013

ගොඩගේ පොත් ප්‍රදර්ශනය | Godage Bargain Book Sale

දවසක් වැඩ ඇරිලා යනකොට මරදාන ගොඩගේ පොත් සාප්පුව ඉස්සරහා සීයේට 50% ඉදලා 80% ඩිස්කවුන්ට් දෙන ප්‍රදර්ශනයක් ගැන පෝස්ටර් එකක් දැක්කා. ඉතින් පොත් වලට ආස කරන මට මේ ප්‍රදර්ශනේ බලලා එන්න ඕන කියල ආසාවක් ඇති උන.එදා නම් වෙලාව තිබ්බේ නැති නිසා ප්‍රදර්ශනේ බලන්ඩ උනේ නෑ.

පහුවදා ටිකක් කලින් වැඩ ඇරිලා ඇවිත් ගොඩගේ පොත් සාප්පුවට ගොඩ උනා. ඔය කියන පොත් ප්‍රදර්ශනය තියෙන්නේ පලමු මහලේ.පලමු මහලේ වෙනම පැත්තකට වෙන්ඩ තමා ඔය ප්‍රදර්ශනේ තියෙන්නේ. අළුත්ම පොත් නම් නෙවෙයි. ටිකක් විතර පරණ පොත් තමයි ප්‍රදර්ශනයේ තිබ්බේ.

දන්න විදිහට කියනවා නම් බාගේන් බුක් සේල් එකක් !

ඉතින් නිවාඩු පාඩුවේ පොත් අතර සැරිසරනකොට පරණ උනත් හොඳයි කියන පොත් ටිකක් හොයා ගන්න පුලුවන් උනා. නවකතා කෙටි කතා පොත් අතර උසස් පෙළ විශ‍ය නිර්දේශයට අදාල පොත පතත් බොහොම අඩුවට තිබ්බා.

මං පැයක් දෙකක් ගත කරලා පොත් අටක් විතර තෝර ගත්තා. ඒ ටිකත් අරගෙන බිල ගෙවන්න පහල තට්ටුවට ආවා. බිල ගණනය කරලා බලනකොට පොත් අටටම ගියේ රුපියල් දෙසීයක් වගේ ගානක්. ඉතින් ඒ ටිකත් ගෙනල්ලා නිවාඩු පාඩුවේ කියවන්න ගත්තා.

ගාන අඩුවට තිබ්බට මොකෝ කතාවේ ලස්සනෙන් අඩුවක් නෑ කියලා මටම තේරුනා.

ඔයාලටත් වෙලාවක් තිබ්බොත් ගිහින් බලන්න.  මේ පරණ පොත් ගොඩවල් අතරේ ඔබ කැමතිම ආකාරයේ පොත් තියෙන්නට පුලුවන් :)

නුගේගොඩ සරසවි පොත් හලේත් මේ වගේ බාගේන් බුක් සේල් එකක් තියෙනවා කියලා ආරංචියක් ආවා. තාම නම් යන්න උනේ නෑ. යන්න පුලුවන් වෙච්චදාක ඒ ගැනත් විස්තර කියන්නම්.

එහෙනම් මං ගිහින් එන්නම්.
ජය වේවා !!