Sunday, July 28, 2013

කරුවල ගෙදර | Karuwala Gedara

තිනන්, රතුහාමි හා විවහා වූයේ බොහෝ කලකට පෙර ය. එහෙත් ඔවුන් දෙදෙනාට දරුවන් සිටියේ නැත. දරුවන් නොමැතිකම නිසා රතුහාමි මෙන්ම තිනන් ද හිතේ කනගාටුවකින් ජීවත් වූහ. ඔවුන් දෙපල ජීවත් වූයේ කොග්ගල ය.

තිනන්ගේ රැකියාව වූයේ පොත් තෙල් හිඳීමය. ඔහු එයින් සෑහෙන ලාබයක් ලබයි. මේ සියල්ල බලා කියා ගැනීමට දරුවකු නොමැති වීමේ ශෝකය තිනන්ගේ සිතින් මැකී නොගියේ ය. මේ නිසාම තිනන් තවත් විවාහයක් කර ගැනීම පිළිබඳ රතු හාමිගෙන් විමසයි.

මුලදි අකමැති වූවද තම ස්වාමි පුරුෂයාගේ සතුට ගැන සිතා ඈ ඊට කැමැත්ත පල කලා ය. ඇගේ කැමැත්ත ලද ඇසිල්ලෙන් ඔහු පොඩිහාමි නම් වූ ගැහැනියක් ගෙදර ගෙනාවේ ය. ඈ ගෙදර දොරේ වැඩපලට මෙන්ම බීරළු ගෙතීමේ දක්ෂ කාන්තාවක් වූ වාය. ඇහැට කනට පෙනෙන රූප ස්බාවය නිසාම පිරිමින් ඈ සමග කතා කිරීමට කැමැත්තක් දැක්වුවේ ය.

මෙය රතු හාමිට නුරුස්සන කාරණාවක් වූවා ය.

පසු කලෙක පොඩි හාමි පුතෙකු බිහි කලා ය. ඔහු සිරිමල් නම් විය. රතු හාමි ද සිරිමල්ට මවක් මෙන් ආදරය කළාය. එහෙත් මේ ආදරය පොඩිහාමිගේ කෝපයට හේතුවක් විය. පසු කලෙක පොඩි හාමි ඈට දැක්වූ වෙනස්කම් වලටද මේ ආදරය හේතු විය.

මේ සියළුම සිදුවීම් ඔස්සේ කතාව දිවෙයි. කොග්ගල ගැමි පරිසරය සමග බද්ධව කතාව ගලා යන නිසාම ඉතාමත් ආශාවෙන් කියැවිය හැකි පොතක් ලෙස හැදුන්නුවාට වරදක් නැත.

ග්‍රන්ථ නාමය - කරුවල ගෙදර
ලේඛකයා - මාර්ටීන් වික්‍රමසිංහ
පිටු -  201ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8415-54-5
ප්‍රකාශකයෝ - සරස ප්‍රකාශණයකි.



මෙම කෘතිය පසු කලෙක සුදත් රෝහණ අතින් ටෙලි සිත්තමක් බවට පත් විය. කරුවල ගෙදර ටෙලි සිත්තමේ තිනන් ලෙස ජනක් ප්‍රේමලාල් ද පොඩිහාමි ලෙස සේමිණි ඉද්දමල්ගොඩ ද රතුහාමි ලෙස අයිරාංගනී සේරසිංහයන් ද රංගනයෙන් දායක විය.

මාර්ටීන් වික්‍රමසිංහයන්ගේ අනෙක් කෘති මෙන්ම කරුවල ගෙදර කෘතියද ඔබ ආසාවෙන් කියවනු ඇත.
දිවයිනේ ඕනම සරසවි පොත් හලකින් මෙන්ම සරස පොත් හලෙන් මෙම පොත මිලදී ගත හැක.

Saturday, July 27, 2013

රතු ඉද්ද | Rathu Idda

මෙම පොත වෙනස්ම ආරක කතා පුවතකි. මතුපිටින් මෙම පොත කියවන්නෙකුට හමු වන්නේ උමතු ගැහැනියකි. ගස් වැල් සමඟ සාමාන්‍ය මිනිසුන් හා සමානවම කතා කරන්නා සේම කතා කරන උමතු ගැහැණියක් හමු වෙයි.

එහෙත් මේ පොතේ ගැඹුරට කිදා බහින්නෙකුට සුවිශේෂි ගැහැණියක් හමුවේ. ඈ ගස් වැල් වලට ආදරය කරන පරිසර වේදිනියක් යැයි මා කීවොත් වැරදි නැත.

පොතේ කතුවරයා මෙම පොත හඳුන්වා දී ඇති ආකාරය පහත දැක්වේ.

එළි පෙහෙළි ලෝකයක කැලෑව සුවිශේෂිය. ප්‍රඥාවන්තිය කැලෑවේ සැඟවී සිටියි. කැළෑව එළි පෙහෙළි කළ විටද ඇය දැකිය නොහැක. මන්ද යත් සුවිශේෂත්වය එළිපෙහෙළි වී සාමාන්‍ය බවට පත්ව ඇති හෙයිනි.
සාමාන්‍යජීවිතය තුල ඈ උමතු කාන්තාවකි.සාමාන්‍ය ජීවිතයෙ සැරිසරන්නන්ට මේ උමතු ගැහැනිය නිතර දෙවේලේ හමු වේ.එහෙත් සුවිශේෂත්වය තුළ ඈ ප්‍රඥාවන්තියකි.


මෙය උමතු ගැහැනියක පිලිබද කතාවක් නොවේ. සාමාන්‍ය ගැහැණුන් දෙදෙනෙකු පිලිබද කතවකි. ඔබේ සිත් මානය අනුව ඔවුනට උමතු බව ආරෝපණය වීම හෝ නොවිම සිදු වේ.


ග්‍රන්ථ නාමය - රතු ඉද්ද
ලේඛකයා - කරුණාදාස සූරියාරච්චි
පිටු -  270ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-5519-07-2
ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි ප්‍රකාශණයකි.


මෙම පොත 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට නිර්දේශිත පොතකි.ඔබත් කියවා රසවිඳින්න.
පසුව ලියමි - මෙම පොත බා ගත කරගන්න මෙතන ක්ලික් කරන්න.

පරඬැල් | Paradal

ශාන්ති දිසානායක මහත්මියගේ පොත් ආසාවෙන් කියවන ඔබ මෙම පොතද ඉතාමත් ආසාවෙන් කියවනු ඇත. ගැමි සුන්දරත්වය සමඟ එක හුස්මටම කියවාගෙන යා හැකි කෘතියකි.

ලිලාරත්නගේ පියා ලෙඩ ඇඳේ ය. මව දවස තිස්සේම මහන්සි වී ගෙදර දොරේ වැඩපල කරන්නී ය.ලොකු අක්කා විවහා වී ගෙදරින් පිටවී ගොසින් ය. චුට්ටි අක්කා ද තම ආදරවන්තයා සමඟ ගෙදරින් පැන ගියා ය. මේ නිසාම ගෙදර සියළුම බර පැටවී ඇත්තේ ලීලාරත්නගේ උරහිස මත ය. ඔහුද මේ සියළුම බර කරට ගෙන කටයුතු කරන්නෙකි.

ඔහුගේ මල්ලි වූ කිරිදෙයියා කිසිදු වැඩක් නොකරන ඔහේ ගෙවන්නන් වාලේ ජීවිතය ගෙවා දමන්නෙකි.  චුට්ටි හට දරුවෝ නොමැති කමෙන් ඔහුගේ සැමියාගේ විවිධ වද බන්ධනයන්ට යටත් වීමට ඈට සිදුවේ. ඈ පසුව තම උපන් ගෙදරට පැමිණියේ මේ සියල්ල තව දුරටත් ඉවසිය නොහැකි වූ නිසාවෙනි.

මේ අතර ලොකු අක්කා තම දෙවෙනි දරුවා බිහිකිරීම සඳහා මහ ගෙදරට පැමිණියා ය. ලොකු අක්කාගේ සැමියා චුට්ටි සමඟ හොර රහසේ සම්බන්ධයක් පවත්වා ගෙන යයි. ලොකු අක්කා මේ කිසිවක් නොදනී.

මොවුන්ගේ ජීවිත වලට එබී බැලීම සඳහා පරඬැල් පොත කියවන්න.

 ග්‍රන්ථ නාමය - පරඬැල්
ලේඛකයා - ශාන්ති දිසානායක
පිටු -  212ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6715-08-8
ප්‍රකාශකයෝ - සරසවි ප්‍රකාශණයකි.


පහතින් දක්වා ඇත්තේ මෙම පොතෙන් උපුටා ගත් කොටසකි.

පරඬැලා පත් මෙන් වියළි වූද හරසුන් වූද ගැහැනු මිනිස්සු මෙන් මෙන්ම ශක්තිමත් අරටුවක් සහිත ගැහැනු මිනිස්සු ද මේ පරඬැල් තුළින් ඔබට හමුවනු ඇත.

අන්ධකාරයේ යක්ෂයාද,
ආලෝකයේ දෙවියන් ද දකින
දහසක් මිනිසුන අතර අඳුරේත්,
ආලෝකයෙත් වෙනසක් නොදුටු
ඔහු අන්තිමේදී දෙවොලක් තුළ සිරගත වූ දෙවියකු ලෙස පරාජිත ප්‍රේමයද, පරඬැලක් වූ
ජීවිතයද ජයගනු ඇත්ද? 

සරල භාෂා හැසිරවීම හා ගැමි සුන්දරත්වය අතිවිදීමට ඔබත් මෙම පොත කියවන්න.

Wednesday, July 24, 2013

සුදු හංසයෝ ඉගිළ ගියහ | Sudu Hansayo Igila Giyaha

බුදු හාමුදුරුවන්ගේ කාලයේදිම බුදු උපතත් සමඟ උපන් කුමරුවෙක් වටා මේ කතාව ගෙතී ඇත. බුදු උපන් කල දවසේ කාංචිකා හා ඝෝෂ නම් වූ දුප්පත් මා පිය දෙදෙනා ද දරුවෙක් ලැබී ය.ඔහු වින්ද නම් විය.

මෙම පොත ආරම්භයේ දී වින්ද නම් වූ දුගී කුමරු  විඳින ලෞකික සැපයේ ඇති දුකත් කටුක බවත් ගෞතමයන් විඳින ලෞකික සැපයේ ඇති සතුටත් වෙන වෙනම පාඨකයාට විස්තර කරයි.  එසේම පසුව ගෞතමයන් තමා විඳින ලෞකික සැපයේ ඇති දුක දැක සදාතනික සැපය සොයා ගිහිගෙය හැර යයි.

මේ වන විටත් වින්ද කුමරු තමා කටුක ජීවිතයක් ගත කරයි. පසුව ඔහුට බුදු හාමුදුරුවන් මුන ගැසී දහමට යොමු වී සෝවාන් පලයට පත් වේ.

මෙම පොතෙහි කතුවරයා කීමට උත්සහ කරන්නේ වින්ද කුමරු ගත කල කටුක ජීවිතයත් ගෞතමයන් මාලිගාව තුල ගත කල සුඛෝපභෝගී ජීවිතයත් අතර එතරම් වෙනසක් නොමැති බවය. මේ ජීවිත දෙකටම වඩා හොඳ මාර්ගය බුදු හාමුදුරුවන් පෙන්වා දුන් බව ය.

මෙම පොත භද්‍රජි මහින්ද ජයතිලකයන්ගේ පළමු නවකතාවයි. මෙහි පළමු මුද්‍රණය සිදුවී ඇත්තේ 1971 වසරේ දී ය.බෞද්ධ නවකතා ගණයට මෙම කෘතිය අයත් වේ.

ග්‍රන්ථ නාමය - සුදු හංසයෝ ඉගිළ ගියහ
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  151ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-1131-48-7
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.



භද්‍රජි පාඨක ඔබ මෙම කෘතියත් ඉතාමත් ආසාවෙන් කියවනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.
දිවයිනේ සියළුම සරසවි පොත් හල් වලින් ද මෙම කෘතිය ලබා ගත හැකි ය.

Tuesday, July 23, 2013

සැන්දරසං ඇත්තෝ | Sandarasan Aththo

සැන්දරසං ඇත්තෝ නම් වූ මෙම පොත ගැන මා කියනවාට වඩා භද්‍රජි මහත්මයාගේම වචන වලින් අසා දැනගනිමු. මහතින් දක්වා ඇත්තේ එම පොතේ පසුපස කවරයේ සදහන් කතාවේ සාරාංශයයි.

ඒ කන්ද උඩරට දෙවන රාජසිංහ රජ සමයයි. දළඳා වඳින්නට ගිය මීගස්තැන්නේ වලව්වේ දියණිය වූ මේඛලා, රාජසිංහ රජුගේ නෙතට හසුවෙයි. ජෝන් සැන්ඩර්සන් නම් වූ රජුගේ සුදු සිරකරුවා පිළිබඳ වලව්වේ සේවිකාවක වූ සඳවතීගේ සිත තුළ අනුකම්පාවක් උපදී.

මේඛලා රජුගේ අන්තඃපුරයට යයි. සිය රාජකීයත්වයත්, රාජධානියත් ආරක්ෂා කර ගැනීම උදෙසා දැඩි නීති රීති යටතේ රට පාලනය කරන රජුට එරෙහිව දිසාවේවරු කැරැල්ලක් සංවිධානය කරති. සුදු ජාතික සිරකරුවාට අතඩංගුවෙන් පැන යාමට උදව් කරන්නේ සඳවතියි.

අසාර්ථක කැරැල්ලකින් පසු මේඛලා, රොඩී කුළයට පිටුවහල් කරයි. මේ සියළු සිදුවීම් කේන්ද්‍ර කොට ගනිමින් "සැන්දරසං ඇත්තෝ" වෘතාන්තය දිග හැරේ. 

ඉහතින් දක්වා ඇත්තේ පොතේ පසු කවරයෙන් උපුටා ගත් කොටසකි. මෙම පොත සැන්දරසං ඇත්තෝ නම් වී ඇත්තේ ජෝන් සැන්ඩර්සන් යන නම ලාංකිකයෝ උසුරුවන ආකාරය නිසා විය යුතු ය.

ග්‍රන්ථ නාමය - සැන්දරසං ඇත්තෝ
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  259ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8733-50-4
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.



උඩරට සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර ගැන ද මෙම පොතෙන් යම් පමණට සාකච්ඡා කෙරේ. එසේම මෙම පොත 1997 වසරේ දී සිළුමිණ පුවත්පතේ කොටස් වශයෙන් පල වූ නව කතාවකි.

Monday, July 22, 2013

නිල් දියමන්ති අභිරහස | Nil Diyamanthi Abirahasa

මෙම පොතේ සඳහන් කතා පුවත කතුවරයාගේම නිර්වචනයෙන් පහත දැක්වේ.

ඕමානයේ ජාත්‍යන්තර පාසලකට ඇතුළුවන සුරංගට, විවිධ රටවලින් පැමිණෙන, විවිධ සංස්කෘතීන්ට අයත් මිතුරු මිතුරියන් රැසක් ආශ්‍රය කිරීමට අවස්ථාව සැලසෙයි. සමාජ අධ්‍යනය විෂයය සඳහා නයිල් ගංගා නිම්න ශිෂ්ටාචාරය ගැන ද ඊජිප්තුවේ පුරාවිද්‍යාත්මක තොරතුරු රැසක් ද ඔවුනට අසන්නට ලැබේ.

"ෆාරාවෝ රජවරුන්ගේ පිරමිඩ්, සොහොන් කොත් ඇතුළේ රූපාක්ෂාරවලින් ලියවුණු ඒ කාලයේ රසවත් තොරතුරු රැසක් අපට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ කථාන්තර අවුරුදු පනහක් තිස්සේ කිව්වත් මට කියලා ඉවර කරන්න බැරිවේවි. " ගුරුතුමිය පැවසුවා ය.

වාසනාව සුරංග ඇතුළු මිතුරන් සොයා එන්නේ, ඔවුනට ඊජිප්තුවේ පුරාවස්තු හැබැහින්ම නැරඹීමට අවස්ථාවක් සලසා දෙමිනි.

ෆාරාවෝරජවරුන්ගේ තොරතුරු සොයමින් පුරාවිද්‍යාත්මක ගවේෂණයක යෙදෙන, මහාචාර්ය ලැංඩන්ගේ කැණීම් කටයුතුවලට ද තරුණ තරුණියෝ සහභාගිවෙති. එයින් ලැබෙන ප්‍රතිඵලය කුමක් ද ?කාන්තාරයට යන මිතුරනට මුහුණදිමට සිදුවන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ ත්‍රාසජනක අත්දැකීම් රැසකටයි. ඔවුන් පසුපස හඹා එන්නේ කවුරුන් ද ?

මෙම පොත චන්දන මෙන්ඩිස්ගේ තවත් එක් ස්වතන්ත්‍ර නිර්මාණයක් වන අතර යොවුන් නවකතා ගණයට වැටෙන නිර්මාණයකි.

 ග්‍රන්ථ නාමය - නිල් දියමන්ති අභිරහස
ලේඛකයා - චන්දන මෙන්ඩිස්
පිටු -  266ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-9682-83-0
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.




සරල බස් වහරකින් යුක්ත කුතුහලය නොඅඩුවම රසවිඳිය හැකි කෘතියකි.මෙම පොත කියවා නැත්නම් ඔබත් කියවා රසවිඳින්න.

Sunday, July 21, 2013

බූරු පොරය | Buru Poraya

සිරා සහ බණ්ඩියා නම් ගමේ ජීවත් වන කොළු ගැටවු දෙන්නෙක් වෙයි. මොවුන් ගම පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ විවිධ වු දඟකාර වැඩ සඳහා ය. දිනක් ගමේ පැවැත් වූ පොර පොල් තරඟයකදී පිල් දෙකේ පොල් මාරු කරවා ගමේ කණ්ඩායම දින වී ය.

ඉන්පසු කලකදී ගමට අහිකුණ්ඨක කණ්ඩායමක් පැමිණේ. අහිකුණ්ඨකයින් ආරච්චි මහත්තයාට අදාල ඉඩමක පැල් අටවා ගනී. මේ බව ආරච්චි මහත්තයට සැල වේ. ඔහු පැමිණ අහිකුණ්ඨකයින්ට බැන වැදුනත් අහිකුණ්ඨකයින් අටවා ගත් පැල් නොගැලෙව්වේය.

මේ අහිකුණ්ඨකයින් ට හිටි මහානර්ඝ වස්තුව වන්නේ ඔවුන්ගේ බූරුවා ය. ඔවුන් සිතන පරිදි මෙම බූරුවා තමන්ගේ ලඟම නෑයෙක් ය. සිරා සහ බණ්ඩියා මෙම බූරුවාගේ පිට වටයක් යාමට ආසාවක් දක්වයි. මේ නිසා බූරුවා පැහැර ගැනීමට ඔවුන් සිතයි.

ඔවුන් දෙපල මෙම ආශාව ඉටු කර ගන්නේ කෙසේ ද ? බූරුවා පැහැර ගැනීමට ඔවුන් යොදන උපක්‍රමය කුමක්ද ?

සරල වින්දනයක් ඔස්සේ ළමා කාළයේ කෙලි කවටකම් නැවතත් මතක් කරගැනීමට කියවන්න බූරු පොරය. මෙය ද යොවුන් නව කතා ගණයට අයත් වේ.

ග්‍රන්ථ නාමය - බූරු පොරය
ලේඛකයා - කුලසේන පොන්සේකා
පිටු -  136ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-9175-07-06
ප්‍රකාශකයෝ - සුභා ප්‍රකාශණයකි. 


ඔබ තවමත් මෙම පොත කියවා නැත්නම් කියවා බලන්න.

Saturday, July 20, 2013

තුන් යහළු වික්‍රමය | Thun Yahalu Wikramaya

සවස දෙකට පමණ රුවන් මහනුවර දුම්රිය පොල වෙත පැමිණියේ තමාගේ අතීජාත මිතුරන් දෙදෙනා වන අජිත් හා සුනිල්ව පිලිගැනීමට ය. මොවුන් තිදෙනාගේ මිතුරුකම ඇති වූයේ සඟරාවක් මාර්යගෙනි. මහනුවර පැමිණි මෙම මිතුරන් තිදෙනාගේ ඊළඟ ප්‍රයත්නය වන්නේ තලාතුඔය ප්‍රදේශයේ පිහිටි දිය ඇල්ලක් බැලීමට යාම යි.

පසුදින ඔවුන් එම දිය ඇල්ල බැලීමට පිටත් වූවෝ ය. එහිදි ඔවුන්ට පත්තර පුටුවක තිබූ ලිපියක කොටසක් දකින්නට ලැබිණි. එහි සඳහන්ව තිබුනේ නිදන් හොරුන්ගේ ග්‍රහනයට හසු වූ පුදබිමක් ගැන ය. මෙම මිතුරන් තිදෙනා ද එම ලිපිය ඔස්සේ ඒ පිළිබඳ සොයා බැලීමට යයි.

ඉන් පසුව සිදු වන්නේ කුමක් ද ?  කියවන්න තුන් යහළු වික්‍රමය !

ඉහතින් දක්වා ඇත්තේ කතාවේ ඉතාමත් ස්වල්පයකි. කුතුහලය නො අඩුවම එක ලෙස කියැවිය හැකි කෘතියකි. මෙය යොවුන් නවකතා ගණයට වැටෙන පොතකි.

මෙම පොතට 1984 වර්ෂයේදී රාජ්‍ය සාහිත්‍යය සම්මානය ද හිමි විය.

ග්‍රන්ථ නාමය - තුන් යහළු වික්‍රමය
ලේඛකයා - කුලසේන පොන්සේකා
 පිටු -  95ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-9520-03-2
ප්‍රකාශකයෝ - සුභා ප්‍රකාශණයකි.


යොවුන් කවකතා කියැවීමට රුචිකත්වයක් දක්වන යොවුන් ඔබ, මෙම පොත කියවා රසවිඳිනු ඇතැයි මා සිතමි.
දිවයිනේ සියළුම සරසවි පොත් හල්වලින් ද මෙම පොත මිලදී ගත හැකි ය.

Friday, July 19, 2013

චෞර රැජින | Chaura Rajina

හිටපු ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ දේශපාලන ජීවිතයේ තිරයෙන් පිටුපස සිදුවීම් වල ඇත්ත නැත්ත සාකච්ඡා කරන කෘතියකි.

 අනු හතරේ බලයට පත් වූ දා පටන් එතුමියගේ දේශපාලන ජීවිතයේ අප දුටු සිදුවීම් කිහිපයක් මෙම පොතෙන් විස්තර කරයි. එසේම ඔබ මෙතෙක් වීරවරියක් ලෙස සිතා සිටි එතුමියගේ චරිතය තුළ අළු පාටින් ඉරි ඇඳීමක් සිදුවන කෘතියක් බව කිය යුතුම ය.

මෙම පොතේ කතෘ වන වික්ටර් අයිවන් ගැන යමක් පවසනවා ඔහු කලක් රාවය පුවත්පතේ කතෘ ලෙස සේවය කල අයෙකි.

 ග්‍රන්ථ නාමය - චෞර රැජින
ලේඛකයා - වික්ටර් අයිවන්
 පිටු -  184ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-1468-03-1
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.



මාධ්‍යවේදි වික්ටර් අයිවන්ගේ ලේඛණ රටාව ඔස්සේ සත්‍යය සිදුවීමක අප නොදන්නා පැතිකඩ ගැන දැන ගන්න චෞර රැජිණ පොත කියවන්න.
 මෙය දිවයිනේ ඇති සියළුම සරසවි පොත් හල් වලින් මිලදී ගත හැකි ය.

පසුව ලියමි. - මෙම පොත බාගත කරගන්න මෙතන ක්ලික් කරන්න.

Thursday, July 18, 2013

ගැට කපන පුංචා | Geta Kapana Puncha

පුංචි ස්මිත් ලන්ඩනයේ මුඩුක්කු සහිත වීදියක ජීවත් වූ අයෙකි. එසේම පුංචි ස්මිත් පික් පොකට්කාරයෙකි. ඔහු හා ඔහුගේ අක්කලා දෙදෙනා ජීවත් වූයේ ස්මිත් පික් පොකට් ගැසීමෙන් ලබා ගන්නා මුදල් වලිනි. දිනක් ඔහු වයසක මිනිසෙකුගේ පොකැට්ටුවට විද්දේ ය.

පොකැට්ටුවට විද්ද ස්මිත් ඈතට වී මෙම වයසක මිනිසා දෙස බලා සිටියේ ය. ඔහු දුටුවේ දාමරිකයින් දෙදෙනෙක් විසින් මෙම වයසක මිනිසා අසලට පැමිණ ඔහුව මදා මහමඟ දමා යාමයි. ස්මිත් ද මේ සිඳුවීමෙන් තාමත් කලබලයට පත් වූයේ ය.

ඔහු සිතූ පරිදි මුදල් කිසිවක් එහි නොවීය. එහි වූයේ ලියවිල්ලකි. මේ ලියැවිල්ල කියවීමට ස්මිත් අකුරු නොදන්නේ ය. එසේම තම අක්කලා දෙදෙනා පවා මේ ලියවිල්ල කියවීමට නොදත්තේ ය.

ස්මිත් ට ලැබුණු මේ අභිරහස් ලියවිල්ල කුමක් ද ? දාමරිකයන් විසින් එම වයසක මිනිසාව මරා දැමු වේ ඇයි ?  ස්මිත්ගේ ජීවිතයට මෙම ලියැවිල්ල නිසා හානියක් සිදු වේ ද ?

මේ ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍ය නම් ගැට කපන පුංචා පොත කියවන්න.

මෙය පරිවර්තන කෘතියකි. ගැට කපන පුංචා නමින් සිංහලයට පරිවර්තනය වූ යේ ලියොන් ගාර්ෆීල්ඩ් විසින් රචිත ස්මිත් නම් කෘතිය වේ.

ග්‍රන්ථ නාමය - ගැට කපන පුංචා
ලේඛකයා - චන්දන මෙන්ඩිස්
පිටු -  268ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-1262-02-6
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.



ඉතාමත් සරල බස් වහරකින් යුක්ත වීම හා කුතුහලය නොඅඩුවම කැටිකොටගත් බැවින් පාථක ඔබව මෙම කෘතිය විසින් ඇඳ බැඳ තබා ගනු නිසැක ය.තව ද චන්දන මෙන්ඩිස් රසික ඔබ, අනිවාර්යෙන්ම මෙම කෘතිය කියවා රසවිඳිනු ඇත.

Wednesday, July 17, 2013

ඉසංකාගේ ලෝකය | Isankage Lokaya

ඉසංකා, කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවියකි. ඇයට පෙම්වතෙකු සිටියා ය. ඔහු සමන් නම් වේ. ඔහු ඉසංකාව ආශ්‍රය කලේ තම සිතැඟි ආශාවන් සපුරා ගන්නට ය.ඔහු තම සිතැඟි ඉසංකාගෙන් ඉටු කරගෙන වෙන ගෑනු ළමයෙක් කරා ගියේ ය.

ඉසංකා කලක් යනතුරු දුකින් සිටි අතර මේ සියළු දේවල් ඈ ද අමතක කර දමා තම අධ්‍යාපන කටයුතු වල නියැලුනා ය. කලක් ගත වන විට ගෙදර වැඩට හිටි පියදාස කෙරෙහි ඇගේ හිතේ ආදරයක් හට ගැනුනි. එහෙත් ඈ ඒ වගක් පියදාසට දැනෙන්නට හැරියේද නැත.

නමුත් ඉසංකාගේ සිතෙහි පෙම්වතෙකුගේ ආදරයක අඩුව තදින්ම තිබුණි.

මේ අතරතුරේදි පියදාස ඉනිමඟකින් වැටි රෝගාතුර වූයේ ය. පියදාසගේ අඩුව මකාලනු වස් ඉසංකාගේ පියා විසින් චන්ද්‍රසිරි නම් වූ ගම්පහ කොල්ලෙකු වැඩට ගෙනාවේ ය. පියදාසගේ ගතිගුණ කෙරෙහි රූපය කෙරෙහි ඉසංකාට ආදරයක් හට ගත්තේ ය.

ඉසංආගෙත් චන්ද්‍රසිරිගෙත් ආදරයට කුමක් සිදු වේ ද ? ඔවුන් දෙදෙනාට ගෙදරින් ඇතිවන ප්‍රශ්න මොනවාද ? ඉතාමත් සරල කතා තේමාවක් ඔස්සේ යන ඉසංකාගේ ලෝකය කියවා රස විඳින්න.

භද්‍රජී පාඨක ඔබ මේ පොත ද ආසාවෙන් කියවනු ඇතැයි මා සිතන්නෙමි.

ග්‍රන්ථ නාමය - ඉසංකාගේ ලෝකය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  203ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  955-8933-11-2
ප්‍රකාශකයෝ - කිංකිණි ප්‍රකාශණයකි.



පහත දැක්වෙන්නේ පොතෙන් උපුටා ගත් කොටසකි.

"මහත්තයා." චන්ද්‍රසිරි පුටුවෙන් නැගිටුනේ ඉබේම. සෝමගේ ඇස් දෙක ගල් ගැහුනා. ඉසංකගේ පපුව නැවතුනා වගේ දැනුනා.

හෝ මේ චන්ද්‍රසිරි නේ....

"මෙහේ මොනවද කරන්නේ "

තාත්තා පුටුවක ඉඳ ගත්තා.

"මං කොළඹ ආවා මහත්තයා." ඒ ගමන්ම....


සරල වින්දනයක් රැගත් යොවුන් ආදර කතාවක මිහිර විඳින්න ඔබත් ඉසංකාගේ ලෝකයට පිවිසෙන්න.

මඩොල් දූව | Madol Duwa

මවගේ මිය යෑමෙන් පසු තම පියා තව විවාහයක් කරගත්තේ යැයි කුඩා උපාලිට වැටහෙන්නේ අසල්වැසියෙකු කියන බස් ඇසීමෙනි. තම මව මෙන් නොව කුඩම්මා සැර පරුෂ මසුරු ගැහැණියක් වූවාය. කලක් ගත වන විට උපාලිගේ කුඩම්මාට පුතෙකු ලැබී ය. පුතා ලැබීමත් සමග කුඩම්මා උපාලිට දක්වන ආදරය අඩු වූයේ ය.

මේ කාලයේදි ගෙදරට පැමිණෙන ජිනපාල නැතහොත් ජින්නා නම් වැඩකාර කොළුවා සමග උපාලි  මිතුරු වීය.ඔවුන් දෙදෙනාගේ ගමේ කොල්ලන් සමඟ ද එකතු වී විවිධ දඟකාරකම් වල නියැලෙයි. උපාලිගේ දඟකාරකම් අඩු කිරීම සඳහා ඔහුව ලොකු ඉස්කෝලේ මහත්තයෙකුගේ ගෙදර නැවැත්වීමට උපාලිගේ පියා කටයුතු කරයි.

එහෙත් එහිදීද ඔහු සුපුරුදු ක්‍රියාකාරකම් වල යෙදේ. පසුව උපාලි හා ජින්නා එකතු වී මඩොල් දූව නම් කොග්ගලු ඔයේ දූපත වගා කරමින් ජීවිකාව ගත කරයි.

මේ සියළු සිදුවීම් හෙලයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ ශූරින්  නිර්මාණශිලීව විදහාපායි. ලේඛණ රටාවත් සරල බස් වහරක් භාවිතා කර තිබීමත් නිසා එක හුස්මටම කියවාගෙන යා හැකි යොවුන් නවකතාවකි.

බාල මහලු කා අතරත් මෙම කෘතිය ඉතාම ජනප්‍රිය බැවින් මෙය නොකියවූ කෙනෙක් සොයා ගැනීම පවා අපහසු ය. තවද මෙම කෘතිය මහාචාර්ය ඈශ්ලි හල්පේ මහතා විසින් ඉංග්‍රිසියට පරිවර්ථනය කිරීම නිසා විදෙස් පාඨකයින්ට පවා එක ලෙස රසවිඳීමට අවස්ථාව ලැබී තිබේ.

 ග්‍රන්ථ නාමය - මඩොල් දූව
ලේඛකයා - මාර්ටීන් වික්‍රමසිංහ
පිටු -  160ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  955-564-012-2
ප්‍රකාශකයෝ - සරස ප්‍රකාශණයකි.


මෙම කෘතිය 1979 වසරේදි ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා අතින් සිනමාවටද නැගුනි. එහි උපාලි ලෙස අජිත් ජිනදාසයන් දජින්නා ලෙස පද්මසේන අතුකෝරාලයන් ද ජෝ අබේවික්‍රමයන් හෙඩ් මාස්ටර් ලෙසත් රඟපෑමෙන් දායක විය. කුඩම්මා ලෙස රඟපෙවේ සෝමලතා සුබසිංහයන් වේ. දම්ම ජාගොඩයන් උපාලි ගිනිවැල්ලේගේ පියා ලෙසත් රංගනයෙන් දායක විය.

ඔබ මෙම කෘතිය තවමත් කියවා නැත්නම් අනිවාර්යෙන්ම කියවා රසවිඳින්න.

පසුව ලියමි. - මෙම කෘතිය බාගත කරගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න.

Monday, July 15, 2013

බඹරවිලේ හොල්මන | Bambarawile Holmana

බඹරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගැන්වීම සිදු කල ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ඇග්නස් හීන්දෙණිය වන අතර  දුව මයුරා හින්දෙණිය නම් වේ.  රැකියාවෙන් විශාම ගෙන ටික කලකදී රූපට් හීන්දෙණිය මිය ගියේ ය.

ඔහුගේ මරණයේ කටයුතු ගෙදර උදවිය තම හැකි පමණින් සිදු කළේ ය. තුන් මස දානයට වතුරු ඇල්ලේ ආරණ්‍යය වාසි හිමිවරුන් ද වැඩියේ ය. තුන් මස දානයෙන් පසු හීන්දෙණිය පවුලේ අය විසු ගෙදර විවිධ අත්භූත සිදුවීම් සිදු වන්නට විය.

මයුරා හා ඇග්නස් වතුරු ඇල්ලේ ගුරුන්නාන්සේ කෙනෙක් ලවා ගුරුකම් කටයුතු සිදු කල ද එයින් කිසිඳු පලක් නොවී ය.මෙම ගෙදර සිදුවීම් වලට පිලිතුරක් සෙවීමට රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන කපිල මෙම නිවසට පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අත්භූත සිදුවීම් සමුදායකට මුහුණ පෑමට සිදු වේ.

මෙම නිවසේ සිදුවන අත්භූත සිදුවීම් වලට හේතුව රූපට් හීන්දෙණියගේ නොනැසුන ආත්මය ද ?  එසේත් නැත්නම් වෙනත් භූත බලපෑමක් ද ? අශෝකට හා ඔහුගේ පුතාට මෙම සිදුවීම් වලට පිලිතුරක් සෙවිය හැකි වේ ද ?

මෙම ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍යය නම් බඹරවිලේ හොල්මන පොත කියවා රසවිඳින්න.

ග්‍රන්ථ නාමය - බඹරවිලේ හොල්මන
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  232ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  955-9367-40-4
ප්‍රකාශකයෝ - දිවුලපිටියේ සරස්වති ප්‍රකාශණයකි.


පහතින් දක්වා ඇත්තේ එම පොතෙන් උපුටා ගත් කොටසකි.

"ඒක මහා අරුම හීනයක්. අපි අර වතුරු ඇල්ල ලඟ හිටියා. අපි එදා ගිය විදිහටම.කට්ටියම. වතුරෙන් ගලක් මතු වෙලා ගල පලාගෙන යකෙක් මතු උනා. මට කිව්වා අර ගල ආපහු ගෙනැත් දියන් කියලා"

"අපි දන්නවා තාත්තා" මම කීවෙමි. "තාත්තා එතැනින් ගල් කැටයක් අරන් ආවනේ"

"ඔවු !" 

"අපි අද උදේ ඒක අරන් ගිහින් වතුරු ඇල්ලටම වීසි කළා."

එක හුස්මටම කියවගෙන යා හැකි හොල්මන් අවතාර හා සිත, විශ්ව ශක්තිය ගැන යම් පමණට සඳහන් වන කෘතියකි.ප්‍රථම මුද්‍රණයේ පැවති පොතක් නිසා මේ වන විට පිටපත් අවසන් වී තිබීමට පුළුවන. පුස්තකාලයකින් හෝ ලැබුනහොත් නොවරදවාම කියවා රසවිඳින්න. ඔබ එක් වතාවක් කියැව්වොත් තව වතාවක් නොවැරදීම කියවනු ඇත.

Sunday, July 14, 2013

උත්පලවන්නාවේ භූත කෙළිය | Uthpalawannawe Bhootha Keliya

උත්පලවන්නාව නම් වූ බාලිකා පාසලක නේවාසිකාගාරයේ සිටිනා සිසුවියන් කිහිප දෙනෙකි. දිනක් ඔවුන් එක් කාමරයකට එකතු වී විවිධ දේ ගැන කතා කර කර ඉන්නට විය. ඔවුන්ගෙන් එක් අයෙක් භූත ලෑල්ලක් ගැන් තම මිතුරියන්ට විස්තර කලා ය.

භූත ලෑල්ලක් නිර්මාණය කර එයට මලගිය ප්‍රාණකාරයෙක් ගෙන්වා විවිධ අනාවැකි දැන ගන්නා ආකාරය ගැන ඇය තම යෙහෙළියන්ට පවසන්නී ය. ඒ ඔස්සේ ඇයගේ යෙහෙළියන් ද භූත ලෑල්ලක් නිර්මාණය කරගෙන භූතයින් ගෙන්වා සාස්තර අසන්නී ය.

නේවාසිකාගාරයේ වෙසෙන සියල්ලන් නිවාඩු දිනවල නුවර මාළිගාව වැඳපුදා ගැනීමට ගිය විටෙක පිරිමි ළමුන් කිහිප දෙනෙක් දකියි. මෙම ගැහැනු ළමුන්ගෙන් එක් අයෙක් එම පිරිමි ළමුඟෙන් එක් අයෙක් හා හාද වෙයි. ඔවුන් අතර විවිධ ලියුම් හුවමාරු වීම් ද සිදු වේ.

මෙසේ කල් යවන මිතුරියන්ගෙන් අයෙක් කෑමක් විසවී මිය යයි. ඇය මිය ගියේ කෙසේ ද ? ඇයගේ මිය යාමට හේතුව භූත ලෑල්ලෙන් අනාවරණය කර ගත හැකි වේ ද ?

නිදහසේ ගලාගෙන සරල සුගම බස් වහරක් ඔස්සේ උත්පලවන්නාවේ භූත කෙළිය කතාව රසවිඳින්නැයි මා ඔබට ආරාධනා කරමි. ඔබ භද්‍රජී රසිකයෙක් නම් මෙය අනිවාර්යෙන්ම කියැවිය යුතු පොතකි.

මෙය යොවුන් නවකතා ගණයට වැටෙන කුතුහලය එක ලෙසම අවසානය තෙක් රඳවා තබා ගන්නා පාඨකයාව පොතටම ඇද බැද තබා ගන්නා කෘතියකි.

ග්‍රන්ථ නාමය - උත්පලවන්නාවේ භූත කෙළිය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  240ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  955-573-193-4
ප්‍රකාශකයෝ - සරසවි ප්‍රකාශණයකි. 


පහතින් දක්වා ඇත්තේ එම පොතෙන් උපුටා ගත් පාඨ කිහිපයකි.

"හොල්මන් කියන්නේ සේරම හිතේ - මලිතා !
ඒක නේ - හොල් - මන් කියන්නේ හෙළවෙන හිතට !"

 ---------

"නොපෙනෙන මායාවකට බිය නොවන අප, පෙනෙන මායාවකට බිය විය යුතු ද? ඒත් නැත්නම් පෙනෙන මායාවකට බිය නොවන අප - නොපෙනෙන මායාවකට බිය විය යුතු ද ?"

---------

"සේරම ඇත්ත - කවුරුවත් - කවදාවත් - දැන ගන්නේ නැහැ - මලියො !"

--------

කාසියක් හෝ වීදුරුවකට භූතයෙක් ගෙන්වා අනාවැකි පවසා ගන්නා ආකාරය දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ මෙම පොත කියැවිය යුතුම ය.

සෝමපුර වීරයෝ | Somapura Weerayo

රුවන් සහ සුනිල් නිවාඩුවකට පොලොන්නරුවේ වෙසෙන අජිත්ගේ නිවසට යයි.මොවුන් අජිත්ගේ නිවසට එකතු වන්නේ සෝමාවතියත් නැරඹීමේ අදහසිනි.  ඔවුන් එන මගදි ගැමියෙකුගෙන් ගමේ ඉස්කෝලයක ගුරුවරයෙකුගේ අතුරුදහන් වීමක් ගැන අසන්නට ලැබී ය.

ඒ ඔස්සේ එම ගුරුවරයාගේ සොහොයුරා සමග සෝමාවතිය බලා පිටත් වේ. සෝමාවතියට යන ගමනේ දී ඔවුන්ට වල් අලි තර්ජන වලට ද මුහුණ පාන්නට සිදුවේ. කෙසේ හෝ ඔවුන් බාධක මැඩගෙන සෝමාවති වනාන්තරය පීරා අතුරුදහන් වූ ගුරුවරයා සෙවීමට වෙහෙසේ.

පසුව ඔවුන්ට නිධන් හොරුන් රැසකට මැදි වූ ගුරුවරයාව දක්නට ලැබේ.
ඔවුන්ට නිදන් හොරුන්ගෙන් ගුරුවරයා බේරා ගැනීමට හැකි වේ ද ? නිදන් හොරුන්ගෙන් ඔවුන්ට විඳින්නට සිදුවන කරදර කුමක් ද ?

කුතුහලයකින් යුතුව කියැවිය හැකි යොවුන් නවකතාවකි, සෝමපුර වීරයෝ. මෙම කෘතිය කුලසේන පොන්සේකාගේ නිර්මාණයකි. තවද මෙම කෘතියට 1989 වසරේදි හොඳම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානයට ද පාත්‍ර වී තිබේ.

ග්‍රන්ථ නාමය - සෝමපුර වීරයෝ
ලේඛකයා - කුලසේන පොන්සේකා
පිටු -  151ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  955-95200-7-5
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.


පහත දැක්වෙන්නේ මෙම පොතෙන් උපුටා ගත් කොටසකි.

"ඔහොම අත්පුඩි ගහන්නෙපා. සත්තු කලබල වේවි." රුවන් අනතුරු ඇඟෙව්වේ ය.

"ඔය කියන තරං සත්තු මේකේ නෑ." අජිත් සිය මිතුරා ගණන් නොගෙන කතා කළේ ය.

"මොනවා ? සත්තු නෑ... ලංකාවේ විශාලම අලි රංචුව ඉන්නේ මේ අවටයි කියලා කීර්ති සර්ගේ ලිපියක තිබුණා."

සරල රසාස්වාදයක් සමග කුතුහලයකින් යුතුව කියැවිය හැකි කෘතියකි.
ඔබත් කියවා රසවිඳින්න. 

නිශ්චල චංචල දේපල | Nischala Chanchala Depala

පේරාදෙණිය සරසවියේ වෛද්‍යය පීඨයට තේරී පත්වන ලලිත්ට සකුන්තලා නම් වූ ගැහැනු ළමයෙක් හමු වෙයි. කලක් ගත වන විට ඔවුන් පෙම්වතුන් බවට පත් වේ. මේ අතර ලලිත්ට හා සකුන්තලාට සිය නිවෙස් වල සිදුවන්නා වූ විවිධ හල හැප්පිම් වලට මුහුණ දෙන්නට සිදු වේ. ඉගෙනීමේ කටයුතු ත් ගෙදර ප්‍රශ්නත් ඔවුන්ගේ කර මත පැටවේ.

 මේ සියල්ල මැදිකොටගෙන තම ආදර කතාව ගලාගෙන යයි.

මොවුන්ගේ ආදර සම්බන්ධයට කණ කොකා හඬන්නේ ලලිත් ට කොළඹ රස්සාව ලැබීමත් සමඟ ය.

මෙතැන් පසු මෙම ආදර සම්බන්ධයට කුමක් සිඳු වේ ද ? ලලිත්ට හා සකුන්තලාට කවදා හෝ එක්වීමට ලැබේ ද ?  යන ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍ය නම් මෙම කෘතිය කියවා රසවිඳින්න.

බොළඳ ආදර කතා මාවතින් අපගමනය වූ වෙනස්ම ආරක ගිය ආදර කතාවක් බව මා කිය යුතු ය. එසේම චන්දන මෙන්ඩිස් නම් වූ ලේඛකයාගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය මෙය බව මා පවසිය යුතුම ය.

ග්‍රන්ථ නාමය - නිශ්චල චංචල දේපල
ලේඛකයා - චන්දන මෙන්ඩිස්
පිටු -  360ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  978-955-1262-12-9
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.


පහතින් දැක්වෙන්නේ එම පොතෙන් උපුටා ගත් කොටසකි.

".... ජීවිතේ ඉතිරි කාලේ ගත කරන්න ඔයා ලඟට එනවා කියලා, මං කවදාහරි කිව්වා ද ? ..... මට නම් මතක නෑ. "

"මතක නෑ ? ඒක හරි පුදුම කතාවක් නේ. මේ දළඳා වහන්සේ වැඩ ඉන්න දළඳා මාලිගාවෙදිමයි පොරොන්දු උනේ, මේ ආත්මේ විතරක් නෙමෙයි මතු ආත්ම වලදිත්.... !"

බොළඳ චාටු ආදර කතාවලින් මිදී වෙනස්ම ආරක ආදර කතාවක් රස විඳින්න මෙම පොත කියවන්න.

මහරජ ගැමුණු | Maharaja Gemunu

අනාගත රජකමට පත් කිරීම සඳහා පිරිමි දරුවකු නැති සොවින් විහරමහා දේවිය පසු වන්නී ය. ඈ විහාරයක රෝගාතුරව සිටින සාමණේර භික්ෂුවක් අසලට ගොස් මතු ආත්මයේ තම කුසයේ ඉපදෙන්නයි අයැද සිටින්නී ය. නමුත් මෙම සාමණේර භික්ෂුව ඊට කැමැත්ත නොදක්වයි..

එහෙත් විහාර මහා දේවිය තුන්වෙනි වරටත් තම කුසයේ ඉපැදෙන්නැයි ඒ හිමි නමට ආරාධනා කරන්නී ය. පසුව අපවත් වූ ඒ හිමි නම වෙහෙර මහා දේවි කුස තුල පිලිසිඳ ගන්නී ය. ඔහු නමින් ගාමිණි අබය නම් වූ පුත් කුමරුවා වෙයි.

පසුව ගාමිණි කුමරු එලාර හා සටන් වැද ලක්දිව එක්සේසත් කිරීම දක්වා මෙම කතා පුවත දිවෙයි.

අප කුඩා කල සිට අතරින් පතර දන්නා කතාවක නොදන්නා පැතිකඩ චිත්තරූප සමඟ කියැවීමට පාඨකයාව යොමු කරවන කෘතියකි.ජයන්ත චන්ද්‍රසිරි නම් වූ කලාකරුවා චිත්‍රපටයකට නිර්මාණය කරන ලද කතා පුවතක් පසු කාලීනව කෘතියක් බට පත් කරන ලදී. මහරජ ගැමුණු යනු එම චිත්‍රපටියේ පිටපත යි.

 ග්‍රන්ථ නාමය - මහරජ ගැමුණු
ලේඛකයා - ජයන්ත චන්ද්‍රසිරි
පිටු -  277ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  978-955-1741-55-6
ප්‍රකාශකයෝ - විසිදුනු ප්‍රකාශණයකි.


පහතින් දැක්වෙන්නේ එම පොතෙන් උපුටා ගත් කොටසකි.

කාවන්තිස්ස රජ්ජුරුවෝ අසුන් සිවු දෙනෙකු ‍රැහැන් පටවලින් ඇද නවත්වාගන්නා ආකාරයෙන් තම කෝපාවේගය මැඬ පවත්වාගත්හ.
"මොකද?"
"පිහිටි රටට වෙළඳාමේ ගිය අපේ වැසියන් සියල්ලන්ම ඝාතනය කරලා !" ගාමිණි අභය, රජුට සියලු ආචාර දක්වා අනතුරුව කීවේය,
"රාජ සභාව ඒ ගැන දන්නවා. මේ සාකච්ඡාව ඒ පිළිබඳවමයි...." කාවන්තිස්ස රජු සන්සුන්ව කීවේය. එහෙත් ඔහු ඊළඟ ටික කීවේ සන්සුන්ව නොවේ.
"....ඔබට මා යළිත් රජ කුමරකුගේ රාජ්‍යතාන්ත්‍රික භාවය ඉගැන්විය යුතුද? මගේ ප්‍රශ්නය එයයි"
"රටේ අහිංසක මිනිසුන් මැස්සන්, මදුරුවන් සේ ඝාතනය කෙරෙන කොට, රාජ්‍යය බිහිසුණු තර්ජනයකට ලක් වී තිබෙනකොට අප රාජ්‍ය තාන්ත්‍රික සිරිත් විරිත් පමණක් ආරක්ෂා කිරීමේ ඵලය කුමක්ද?"
"  කට"  කාවන්තිස්ස රජතුමා ගුගුලේය.

 අපේම වීරවරයෙක් ගැන දැනගැනීම පිණිස මෙම කෘතිය රසවිඳින්න.

පසුව ලියමි. - මෙම පොත බාගත කරගෙන කියවන්න මෙතන ක්ලික් කරන්න.

සෙංකොට්ටං | Senkottan

එකල ජීවත් වූ රදා කුලයට අයත් පවුලක් වටා ගෙතෙන දුක්බර කතා පුවතකි.

පොඩිනා නම් වූ රදා කුල ස්ත්‍රීයක් අනගිහාමි නම් වූ අයෙක් නිසා දරුවෙක් ලබන්නීය.  දරුවාට පියෙකු නොමැති වීම වලකා ගැනීමට ඈ ගමේ විසූ නම්බු හේනයා නම් වූ නෝංජල් අයෙක්ව රවටාගෙන විවහා වෙයි. ඔවුන්ට ලැබුන දරුවා බබා හේනයා වේ.

පොඩිනාගේ පියා වූ වීරප්පුලි හේනයා ද තම මව වූ මල්මා රිදීවද කැටුව අනුරාධපුරයට වන්දනාවේ යෑමට පිටත් වේ. මොවුන් ගිය පසු තම නැගනිය වූ හීං රිදී, ගමේ වූ බබානිස් යන අයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ගෙදරින් පලා යන්නීය.

මොවුන්ගේ ජීවිතය කෙබඳු වේ ද ?

ග්‍රන්ථ නාමය - සෙංකොට්ටං
ලේඛකයා - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
පිටු -  168ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  978-955-098-0-000
ප්‍රකාශකයෝ - සන්ථව ප්‍රකාශණයකි.


පහතින් දැක්වෙන්නේ එම පොතෙන් උපුටා ගත් කොටසකි.

"උඹට කියන්න,අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ,වංසා රිදී කියල.
කුණුහරුප කියවනවා කටේ නොගෑවී .
මගෙ ඔන්න ඔය එක පලහිලව්වකදී මගෙ ලගින්ම ඉඳගෙන මෙන්න මේ මං උඹගේ හිත හදන්නවගේ ම මයේ හිත හදන්න හරි හරියට මහන්සි වුණා.
ඒ ගෑණි කියපු කතාවක් මට අද වගේ ම මතකෙ තියනවා...ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕනෑ විගඩමක් නැටුවට කමක් නැත්තේ ය හැබැයි ඔය පිරිමි ජාතිය මහා අමුතු ජාතියක් අත නිකං තියා ගෙන ඉන්න උන්ට කිසිම පුරුද්දක් නැත, අන්න ඒ හින්ද උඹ ලග තියෙන ඔය හක්ගෙඩි දෙකයි ,පංචා බෙල්ලයි විතරක් උන්ගේ නොහොබිනාකන් වලට පරිහරණය කරන්න දෙන්න එපා ය කියලා...බලපන් රත්තරනේ,එක මොනතරන් මසුරන් වටිනා කතාවක් ද කියල. ඕනෑම ළමිසියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව මොන තරම් වටිනවද කියල.. "

මොවුන්ගේ ජීවිත වලට කුමක් සිඳු වේද ? බබා හේනයාගේ අනාගතය කෙබඳු වේ ද ?

එක හුස්මටම කියවාගෙන යා හැකි කෘතියක් යැයි කීවොත් මා නිවැරදි ය. තවද මෙම කෘතිය 2013 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ මේ වන විට දෙවන වටයට තේරී පත් වී ඇති කෘතින් දොලස ද නියෝජනය කරයි.

මෙම කෘතිය කියවා රසවිඳින්න

බත්තලංගුණ්ඩුව | Baththalangunduwa

ඇන්ටනී නම් වූ අයෙක් තම පියා සොයා බත්තලංගුණ්ඩුව නම් වූ කල්පිටිය ආසන්නයේ වූ දූපතකට ගමන් කරයි. එහිදී ඔහුට විවිධ මිනිසුන් හා ගැහැනුන් ඇසුරු කිරීමට ලැබේ. ඔවුන් සමඟ ඇන්ටනී නම් වූ පුද්ගලයා ගෙවන ජීවිතයත් තම පියා සොයා ගැනීමත් යන කාරණා මත මේ පොත ලියැවී ඇත.

අවසානයේදි ඔහු සොයන පියා ඔහු තුලම සිටින බව ඔහුටම පසක් වන්නේ ය.

පාඨකයාව බත්තලංගුණ්ඩුව දූපතේම තවත් එක් අයෙක් බවට පත් කිරීමට සමත් කෘතියක් ලෙස හුවා දැක්වීමට මා කැමති ය. එසේම බත්තලංගුණ්ඩුව දූපතේ වෙසෙන අයගේ ජන ජීවිතය ද ඔවුන්ගේ භාෂා විලාසය ද මෙම පොතේදි අපූරූ ලෙස චිත්‍රණය කරයි.

ග්‍රන්ථ නාමය - බත්තලංගුණ්ඩුව
ලේඛකයා - මංජුල වෙඩිවර්ධන
පිටු -  273ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN 978-955-656-052-7
ප්‍රකාශකයෝ - සූරිය ප්‍රකාශණයකි.



පහතින් දැක්වෙන්නේ පොතෙන් උපුටා ගත් පාඨ කිහිපයකි...

කාරල්ලන්ගෙයි මගෙයිවෙනස ඌ ඇස් පිය ගහන එක විතරයි.ඌත් පැතලියි.මාත් පැතලියි.ඌත් වේලෙනවා.මාත් වේලෙනවා.ඌට සන්තෝෂ වෙන්න පුලුවන්.තවත් එක වෙනසක් තියෙන්වා.කියන්න පුලුවන්ද මොකක්ද කියලා.ඌ වේලෙන්නෙ මැරිලා.මන් ජීවත් වෙවී මැරෙනවා...

 ----------------

ප්‍රධාන ජැටි ද්වාරය අසල රැකවල්ලා සිටින නාඹර සොල්දාදුවන් දෙදෙනාගෙන් අයෙකු සුරතින් අවියකට වාරුවී සිටින අතර අනෙකා තේජාන්විත දෑසින් හැඳුනුම් පත් පිරික්සයි. මගේ වාරය එළඹෙයි. 
"කොහාටද?" ඔහු අසයි. 
"බත්තලංගුණ්ඩුවට" 
"මොකටද?"
"චේන්ජ් එකකට"
 

තව හෝරා කිහිපයකින් මා ඕපපාතිකයෙකු නොවන වග තහවුරු කළ හැකි ශුක්‍රාණුවේ අයිතිකරුවා මට මුණ ගැසේ. ඔහු අල්ලා ගෙන නගරයට රැගෙන යා යුතුය.

----------

බත්තලංගුණ්ඩුවේ ජන ජීවිතයත් සමග ඒකාත්මික වීමට ඔබත් කැමති නම් මෙම කෘතිය කියවන්න.  

මෙම කෘතිය සූරිය ප්‍රකාශණයකි. 

පසුව ලියමි - පොත බාගත කරගෙන කියවන්න මෙතන ක්ලික් කරන්න.