Saturday, August 31, 2013

මැංචෝසන් චාරිකා | Manchosan Charika

බාරොන් මැංචෝසන් නම් වූ චරිතයක් වටා මෙම පොත ගෙතී ඇත. ඔහුවේ විවිධ වූ චාරිකා දහ අටක් මෙම පොතේ අඩංගු වේ. මෙම කතා සියල්ලේ විශේෂත්වය වන්නේ ඒ සියළුම චාරිකා අතේ පැලවෙන තරමේ බොරු වීමයි. ඔහු විස්තර කරන්නාවු විවිධ සිද්ධීන් උසස් ගණයේ හාස්‍යය රසයකින් යුක්ත වන අතර පාඨකයාට විඩාවක් නොමැතිව එක හුස්මට කියවගෙන යාමට පොලඹවයි.

එසේම ඔහු ගමන් ගන්නා ස්ථානද අරුම පුදුම ය. විටෙක ඔහු කේජු දිවයිනකට කිරි සයුරකින් යාත්‍රා කරන අතර විටෙක ගිණි කන්දක් නිරීක්ෂණය කිරීමට ඒ තුලට බසියි.තවත් විටෙක සොරුන්ගේ බලකොටුවට ගොස් ඔවුන්ගේම වෙඩි බෙහෙත් කරත්ත සියල්ල ගිණිබත් කර නිරුපද්‍රිතව පලා එයි.

මෙම පොතේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ ලියා ඇති භාෂා ශෛලිය වේ. එය විශේෂත්වයක් ලෙස මා දකින්නේ පරිවර්තක භාවිතා කරන ලද විවිධ වූ වචන සමුදාය වේ. ඒවා මේ වන විටත් අප අතරින් අභාවයට යන වචන ලෙස මා හැදින්වුවාට වරදක් නැත. මෙම භාශා විලාසයේ වෙනස්කමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ එහි පරිවර්ථනය සිදුවී ඇත්තේ 1963 දී වීමයි.

මෙම පොත රුඩෝල්ෆ් එරිච් රාස්ප් විසින් රචිත The Surprising Adventures of Baron Munchausen කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පොත සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ඒ 1963 වසරේදි ය.

එදා මෙදාතුර කාලයක් සිංහල පාඨකයින්ව හාස්‍යය රසයෙන්  ප්‍රීතියට පත් කිරීමට මෙම කෘතිය සමත්කම් දැක්වූවා යැයි කීවොත් වරදක් නැත.

 ග්‍රන්ථ නාමය - මැංචෝසන් චාරිකා
ලේඛකයා - ආර්. ඊ. රාස්ප් / ඩී. බී. කුරුප්පු
පිටු -  105ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-5911-49-2
ප්‍රකාශකයෝ - කුරුලු පොත් ප්‍රකාශණයකි. 


මෙම පොත අවසන් වරට මුද්‍රණය කර ඇත්තේ  2012 වසරේදි උවත් දැනට මුද්‍රණයේ අවසන් වී තිබෙන්නට පුලුවන.මේ නිසා කොටුව/ නුගේගොඩ ගුණසේන පොත් හල් ද රාජගිරියේ කුරුලු පොත් හලේ ද නුගේගොඩ සරසවියෙන් ද විමසා බලන්න.

මෙම පොත සොයා ගැනීමට අපහසු වූවොත් මෙතන ක්ලික් කර මෙම පොත බාගත කරගෙන කියවන්න.

පසුව ලියමි. -
කුරුලු පොත් හලේ දුරකතන අංකය 2863350 හා 071 82 63 828 වන අතර ලිපිනය 594/1, නාවල පාර, රාජගිරිය වේ.

Tuesday, August 20, 2013

ස්වර්ණ පුස්තක සම්මානය 2013 - දෙවන වටය | Swarna Pusthaka Award 2013 - Second Round

සාහිත්‍ය මාසය පටන් ගන්න තව ටික කාලයයි තියෙන්නේ.පොත් කියවන අපි නම් මේ දවස්වල බලාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වෙලා තියෙන පොත් මොනවද කියලා දැනගන්න.

ගොඩක් කට්ටිය නම් දැනටම දන්නවත් ඇති. මොකද මේ ලිපිය කලින් ලිව්වට පල කරන්න උනේ අද තමයි. මොනවා උනත් ලියපු ලිපිය පල කරන්නම එපැයි.මේ ලිපියෙන් මම කියන්න උත්සහ කලේ මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තකයේ දෙවන වටයට තේරි පත් වෙලා තියෙන පොත් මොනවද කියලා.

ඒකට කලින් කලින් අවුරුද්දේ ඒ කියන්නේ 2012 අවුරුද්දේ තේරුන පොත් මොනවද කියලා මතක් කරගෙනම ඉමු. පහලින් දක්වලා තියෙන්නේ 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ දෙවන වටයට තේරිලා තියෙන දොලහයි.

1 නයි ගලින් උපන් පුත්‍රයෝ - බටුවන්ගල රාහුල හිමි (සදීපා ප්‍රකාශන)
2 හේලංකඩ - කරුණාරත්න මාකඩුවාව (ෆාස්ට් පබ්ලිෂින්)
3 පරඬැල් - ශාන්ති දිසානායක (සරසවි ප්‍රකාශන)
4 සුදම් සභාව - සරත් විජේසූරිය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
5 සර්පයාගේ දියණිය - උපේක්ෂා නුවන්ශ්‍රීනි (ගොඩගේ ප්‍රකාශන)
6 සිටුවර පුවත - රූපා ශ්‍රියානි ඒකනායක (සූරිය ප්‍රකාශන)
7 ඇහැළමලී - මනෝහාරී හේවාවසම් (සංහිඳ ප්‍රකාශකයෝ)
8 රතු ඉද්ද - කරුණාදාස සූරිය ආරච්චි (දයාවංශ ජයකොඩි)
9 දඩයක්කාරයාගේ නිම්නය - අනුර වික්‍රමසිංහ (නැණිල පබ්ලිකේෂන්)
10 පියැසි කවුළුව - කපිල කුමාර කාලිංග (කිංකිණි ක්‍රියේෂන්ස්)
11 අභිරහස් ජීවිත තරණය - ටෙනිසන් පෙරේරා (සරසවි ප්‍රකාශකයෝ)
12 ගැහැණු ළමයාගේ මරණය - ශමෙල් ජයකොඩි (සරසවි ප්‍රකාශකයෝ)

ඔන්න ඔය ඉහලින් තියෙන ටික තමයි 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ දෙවන වටයට තේරිලා තියෙන පොත් ටික. ඔය අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය ලැබුනේ රූපා ශ්‍රියාණි ඒකනායකගේ සිටුවර පුවතට කියලා කාට කාටත් මතකයි නේ ?

දැන් බලමු මේ අවුරුද්දේ දෙවන වටයට තේරිලා තියෙන පොත් මොනවද කියලා.මේ වසරෙත් ඒ කියන්නේ 2013 වසරේ දෙවන වටයට පොත් දොලසක් තෝරලා තියෙනවා.
ඒ ටික තමයි පහලින් තියෙන්නේ.

1 වාලුකා - ශාන්ති දිසානායක (සරසවි ප්‍රකාශන)
2 මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවල (බිසෝ ප්‍රකාශන)
3 සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (සංථව ප්‍රකාශන)
4 බොල් පොළව නිල් අහස - රංජිත් ධර්මකීර්ති (සඛිල ප්‍රකාශන)
5 ප්‍රේත වස්තුව - සේපාලි මායාදුන්නේ (ගොඩගේ ප්‍රකාශන)
6 මහා නගරය - කන්දේගම කුලරත්න (ආරිය ප්‍රකාශන)
7 එකොළොස් ගිණි - ටෙනිසන් පෙරේරා (සරසවි ප්‍රකාශන)
8 අත අත නෑර - සුමිත්‍රා රාහුබද්ධ (සුමිත්‍රා රාහුබද්ධ ප්‍රකාශනයක්)
9 පර්ජන්‍යා - සුසන්ත මහඋල්පත (ගොඩගේ ප්‍රකාශන)
10 කන්දේ වීදිය - කපිල කුමාර කාලිංග (කිංකිණි ක්‍රියේෂන්ස් ප්‍රකාශන)
11 කාල සර්ප - කීර්ති වැලිසරගේ (සරසවි ප්‍රකාශන)
12 තැප්පා සේ ම ගිණි - සමරවීර විජයසිංහ (සූරිය ප්‍රකාශන)

ඔයගොල්ලෝ දැනටමත් මේ පොත් දොලහෙන් කීයක් කියවලා තියෙනවද ? මගේ පුද්ගලික අදහස තමා ස්වර්ණ පුස්තක සම්මානයට කලින් අඩුම තරමේ පොත් දෙක තුනක්වත් කියවලා බලන්න කියලා. එතකොට අපිටම තීරණයගක් ගතෑකි මොන පොතට සම්මානය ලැබෙයිද කියලා.

එහෙනම් ගිහින් එන්නම්.

Monday, August 19, 2013

සිටුවර පුවත | Situwara Puwatha

පණ්ඩුල, දිගේලි කන්ද සිටු මැදුරේ ජීවත් වූ අයෙකි. ඔහු තම මාමණ්ඩියගේ දියණිය වූ සරලා සමඟ ආදරයෙන් පසුවේ. මේ දෙදෙනාගේ ආදරය පටන් ගන්නේ ළමා වියේදිම යැයි මා කීවාට වරදක් නැත. ඈ සරසවියට තේරී පත් වූ පසුව සරසවියේ සිට ඇගේ නිවසට ඈව ගෙන එන්නේද ඇගේ නිවසේ සිට සරසවියට ගෙනත් ඇරලන්නේද පණ්ඩුල වේ.

මෙසේ ටික කලක් ගත වන විට පණ්ඩුල නොසිතූ විරූ හදිසි අනතුරකට මුහුණපාන්නට සිදු වේ. එහි ප්‍රථිඵලයක් ලෙස ඔහුගේ එක් පාදයක් අහිමි වේ. පණ්ඩුල ආබාධිත වීමත් සමඟ තම මාමණ්ඩියගේ සිතද පණ්ඩුල කෙරෙන් පහව යයි.මෙහි ප්‍රථිපලයක් ලෙස මාමණ්ඩියගේ දියණිය වෙන කෙනෙකුට සරණ පාවා දීමට මාමණ්ඩිය කටයුතු කරයි.

ඉන් පසුව කතාවේ සිදු වන්නේ කුමක් ද ?

ඔබත් සිටුවර පුවත කියවා බලන්න.  මෙම නව කතාවේ මා දකින සුවිශේෂිම ලක්ෂණය වන්නේ විටෙක සරලාගේ දෘෂ්ඨිකෝණයෙනුත් විටෙක පණ්ඩුලගේ දෘෂ්ඨිකෝණයෙනුත් කතාව ඉදිරිපත් කිරිමයි. මේ නිසා මාරුවෙන් මාරුවට දෙදෙනාගේ සිත් තුල හට ගන්නා හැඟීම් සමුදාය වටහා ගැනීමට පාඨකයාට අවස්ථාවක් ලබා දී ඇත.

මෙම පොත 2012 වසරේ ප්‍රසස්ථ නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය ද හිමි වී තිබේ. නමුත් ඉතාමත් සරල කතා තේමාවකට මෙම සම්මානය ලැබී තිබීම පුදුම එලවන සුලු කරුණකි.  ඒ කිම්දයත් මීට වඩා හොඳ කතා තේමාවන් සහිත පොත් මෙම සම්මාන උළෙලට නිර්දේශ වී තිබුණ බැවිනි.

කෙසේ උවත් කිසිදු අපහසුවකින් තොරව එක ලෙස රසවිඳිය හැකි කතාවකි.

ග්‍රන්ථ නාමය - සිටුවර පුවත
ලේඛකයා - රූපා ශ්‍රියානි ඒකනායක
පිටු -  268ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6561-97-5
ප්‍රකාශකයෝ - සූරිය ප්‍රකාශණයකි. 


Saturday, August 17, 2013

ගජමුතු නොහොත් සිංහරාජ වික්‍රමය | Sinharaja Vikramaya

පාසල් නිවාඩුවට සංඛ බද්දේගම තම මාමාගේ නිවසට යයි. එහිදි ඔහුට මාමාගේ දියණිය අජන්තාත් පුතා වන වජිරත් සමඟ කෙලි දෙලෙන් ගත කරයි. ඔවුන් බැද්දේගම මාමා සතු කුඩා හෙලිකොප්ටරයෙන් අහසින් ගමන් කරයි. එහිදි ඔවුන්ට සිංහරාජ වනය දැකගත හැකි වේ.

මෙම හෙලිකොප්ටරයේ නියමුවා වන්නේ අසේල ය. ඔහු සංඛ හා වජිර කැටුව  ගමන් කල දිනක ඔවුන්ට කැකුලි හා මුකුලී නම් නිවුන් සොහොයුරියන් දැක ගත හැකි විය.දිනක් ඔහු වජිර හා සංඛ කැටුව අහසින් ගමන් කරන විට හෙලිකොප්ටරයේ යාන්ත්‍රික දෝශයකැයි කියා වනය මැද පිහිටි හිස් භූමියකට ගොඩබස්වයි.

දෙමිතුරන් උදව් සොයා වනය පීරති. අවසානයේ නිශ්ඵල ගමනකින් පසුව හෙලිකොප්ටරය තිබූ තැනට පැමිණේ. ඔවුන් පැමිණෙන විට යානයේ නියමු අසේල එහි නොවීය.

අසේලට සිදුවූයේ කුමක් ද ? දෙමිතුරන් කැලයෙන් එලියට එන්නේ කෙසේ ද ? කතාවේ ඉතිරි ය කුමක් වේද ?

භද්‍රජි මහින්ද ජයතිලකයන් යොවුන් පරපුර ඉලක්ක කර රචනා කල කෘතියකි, ගජමුතු නොහොත් සිංහරාජ වික්‍රමය. සරල බස් වහරකින් ලියැවී ඇති නිසා කිසිදු අපහසුවකින් තොරව පාඨකයා කෘතිය තුළ ඇද බැද තබා ගන්නවා යැයි මා කීවොත් නිවැරදි ය.

ග්‍රන්ථ නාමය - ගජමුතු නොහොත් සිංහරාජ වික්‍රමය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  314ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-5532-22-2
ප්‍රකාශකයෝ - ආරිය ප්‍රකාශණයකි.


පහතින් දක්වා ඇත්තේ පොතේ පසුපස කවරයෙන් උපුටා ගත් කොටසකි.

ගජමුතු ?
ඔවු අක්කා ගජමුතු
ගජමුතු කියන්නේ ඇත් දළ වල තියෙන මුතුවලට නේද ?
කොහෙද - ඇත් දළ තියෙන්නේ ?
ඇත් දළ තියෙන්නේ ඇත් සොහොනේ
ඇත් සොහොන කොහෙද තියෙන්නේ ?
ඇත් සොහොන තියෙන්නේ මිමන යායෙන් ගිණිකොන දිසාවට ලූ.
කැලේ මැදින් යන්න ඕන ලු
එහෙනං ඇත් සොහොනේ ඩයිනෝසර්ලගේ ඇට කටු තියෙන්නත් බැරි නැහැ ?
ඊලඟ සැරේ හෙලිකොප්ටරෙන් යමු.

මෙම පොත වරකාපොල ආරිය ප්‍රකාශකයින්ගෙන් හා සරසවි පොත්හල් වලින් ලබා ගත හැක.

පසුව ලියමි - ආරිය ප්‍රකාශකයෝ
වරකාපොල    දුර: 035 226 77 69
කොළඹ 10     දුර: 011 474 02 79

Friday, August 16, 2013

තැප්පා සේම ගිනි | Theppa Sema Gini

තිස්ස ඉඳුරුවේ පිහිටි තම පියාගේ මහ ගෙදරට යන්නේ බෝධිපාල ලොකු තාත්තාගෙන් පසුව තම පියාට හිමි වන ඉඩ කඩම් බලා කියා ගැනීමට ය.ඉඳුරුවේ මහගෙදර ජීවත් වන කාලයේදි ඔහුගේ ලොකු තාත්තාගේ ජීවිතය ගැන හාරා ඇවිස්සිමේ ආසාවක් තිස්සට ඇති විය.මේ පිලිබඳ සුමනාවති නැන්දාගෙන් ඇසුවත් ඈ ඒ අතීතය හෙලි කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වුවාය.

සමහර දිනවල ඔහු සිය ලොකු තාත්තාගේ පොත් රාක්ක අවුස්සමින් එහි ඇති පොත් කියැවීමට රුචිකත්වයක් දැක්වුවේය. පසුව ඔහුට සිය ලොකු තාත්තාගේ ජීවිත කතාව දැන ගැනීමට හැකි විය.

එතැන් පටන් බෝධිපාල ලොකු තාත්තාගේ ජීවිත කතාව නවකතාවක් මෙන් දිග හැරේ.

ඉහතින් දක්වා ඇත්තේ මෙම පොතෙහි එන කතාවෙන් ඉතාම කුඩා කොටසක සාරාංශයකි.බෝධිපාල ලොකු තාත්තාගේ ජීවිතය කෙබඳු එකක්දැයි දැන ගැන්මට තැප්පා සේම ගිනි පොත කියවන්න.

මෙම පොත ඔබ කවුරුත් දන්නා ස්වයංජාත පොත රචනා කල සමරවීර විජයසිංහයන්ම වේ.

ග්‍රන්ථ නාමය - තැප්පා සේම ගිනි
ලේඛකයා - සමරවීර විජයසිංහ
පිටු -  342ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6561-51-4
ප්‍රකාශකයෝ - සූරිය ප්‍රකාශණයකි.




මෙම පොත 2013 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයේ පොත් පහට තේරී ඇත. ඔබ දැනටමත් මෙම පොත කියවා නැත්නම් මේ කියැවීමට සුදුසුම කාලයයි.

මෙම පොතේ මාක්ස්වාදය සමාජවාදය යම්තාක් දුරට සාකච්ඡා කෙරෙන නිසා එම මතෘකා වලට ඔබ අකමැති නම් කතාව නීරස ගතියක් දැනේවි යැයි මගේ හැඟීමයි. එහෙත් සමස්ථ කතාව රසවත් ය.

Wednesday, August 14, 2013

හත්පෙති මල | Hathpethi Mala

හත්පෙති මල කියන්නේ අපි පුංචිම දවස්වල ආසාවෙන් කියවපු පොතක්. මේ පොතේ එන කතාව රුසියානු සුරංගනා කතාවක්. රුසියානු කතාවක් උනාට අපේම කතාවක් වගේ එක ලෙසම රසවිඳින්න පුලුවන්.

මෙම පොතේ එන කතා නායිකාව වෙන්නේ ශේන්යා කියන පොඩි ගෑනු ළමයෙක්.  තව දෙයක් තමා මේ පොතේ එන කතාව ඉතාමත් පුංචි නිසා කතා සාරාංශය ලියන්න නම් යන්නේ නෑ. එහෙම ලියපු සාරාංශයක් කියවලා පොත කියවන එකේ තේරුමකුත් නෑ. පුලුවන් අය ඉන්නවා නම් පොත හොයාගෙන කියවන්න.

එහෙම හොයාගන්න බැරිම කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

මෙම පොත පරිවර්තනය කරලා තියෙන්නේ අපි කවුරුත් අදුනන දැදිගම වී. රුද්‍රිගු මහතායි.


මේ පොත ඕනෑම සරසවි පොත් හලකින් උනත් ලබා ගන්න පුලුවන්.

Sunday, August 11, 2013

සැමීගේ කතාව | Sam's Story

සැමී කියන්නේ පිටිසර ගමක ජීවත් වෙච්ච කොල්ලෙක්. එයාගේ පවුලේ සහෝදර සහෝදරියෝ හය දෙනෙක් ඉන්නවා. අම්මා රබර් කිරි කපලා ලැබෙන සොච්චමෙන් තමයි මේගොල්ලෝ ජීවත් උනේ. සැමීලාගේ තාත්තා එයාලව දාලා ගිහින්.

සැමීලගේ අම්මා උපයන සොච්චම එයාලට ජීවත් වෙන්න මදී.මේ ගොල්ලෝ වේලක් ඇර වේලක් කාලා තමයි ජීවත් උනේ.  ගේ ලගින් ගලන ගඟේ ඉවුරේ හැදෙන ගොටුකොල කන්කුන් වලින් තමයි ගොඩක් වේලාවට මේ ගොල්ලන්ගේ කෑම වේල හැදුනේ.

සැමිට හිටපු හොඳම යාළුවා තමයි පියා.පියා කිව්වේ පියදාස. සැමීගේ හොඳම යාළුවායි එයාගේ තාත්තයි ගංවතුරට ගහගෙන යනවා.ඔන්න ඔහොමයි සැමීගේ යාළුවාව සැමීට නැති උනේ.

ඊලඟට සැමී ගඟලඟ ගෙදර වැඩට යනවා.

එතනින් එහාට කතාව දැනගැනීම ඔබට බාරයි. මා ඉහතින් සඳහන් කලේ සැමීගේ කතාව නම් වූ කපිතාන් එල්මෝ ජයවර්ධනයන් විසින් රචිත Sam's Story නම් වූ කතාවේ සාරංශයයි. මෙම කෘතිය ඉංග්‍රිසියෙන් රචිත කෘතියකි. එහි පරිවර්තකයා වන්නේ සිසිල් රුද්‍රිගු මහතාය.

තවද මෙම කෘතිය ජනප්‍රිය වන්නේ සැමීට රඟපෑ ජගත් චමිලයන් නිව්යෝක් සිටි සිනමා සම්මාන උළෙලෙදී හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගැනීමයි.

සැමී නම් වූ මෙම කතාවේ ප්‍රධාන චරිතය තමාගේ සිතට දැනෙන දුක සතුට සියුම්ව විග්‍රහ කරයි. එලෙසම සමාජයේ පවතින අඩුලුහුඩුකාම් සියුම්ව හාස්‍යයට ලක් කිරීමද සිදු කරයි.මෙහි භාෂා හැසිරවීම සරලය. මා කතා සාරාංශය ලියා ඇති රීතියට බෙහෙවින්ම නෑකම් කියයි.

ඔබත් මෙම කෘතිය කියවා නොමැති නම් කියවා රසවිඳීන්න.

ග්‍රන්ථ නාමය - සැමීගේ කතාව
ලේඛකයා - එල්මෝ ජයවර්ධන/ සිසිල් රුද්‍රිගු
පිටු -  170ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-2112-60-5
ප්‍රකාශකයෝ - ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශණයකි.


පහතින් දැක්වෙන්නේ එම පොතේ පසුපස කවරයෙන් උපුටා ගත් කොටසකි.

මම ලොකු මහත්තයා - සැමී පොඩි මහත්තයා....
අත් විහිදා වටේටම කැරකැවෙමින්ආයිත් මහත්තයා හිනාවෙවීම කිව්වා.ආයිත් මමත් එයා එක්කම හිනා වුනා...

දිවයිනේ සෑම ගුණසේන පොත්හලකින්ම මෙම පොත ලබා ගත හැක.

කන්දේ වීදිය | Kande Veediya

කන්දේ වීදිය පොත ගැන මා කියනාට වඩා එහි කතෘ වන කපිල කුමාර කාලිංගයන්ගේ වචන වලින්ම අසා දැන ගනිමු. පහත දැක්වෙන්නේ එහි පසු පස කවරයේ සඳහන් සටහනින් උපුටා ගත් කොටසකි.

මෙය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අවසන් දශක තුන පසුබිම් කරගත් වෘතාන්තයකි.තවත් කෝණයකින් එය චරිතාපදානයක් ද වෙයි. පාරම්පරික සිංහල වෙද මහතකු මෙන්ම වැවිලිකාරයෙකුද වන පුද්ගලයෙකුගේ නීතීඥ පුත්‍රයා වටා මේ ප්‍රබන්ධය ලියැවෙයි.

කිසියම් චරිතයක් වටා ගොඩනැගිය හැකි අනන්ත අපරිමාන සිදුවීම් සමුදාය තුළින්, වඩා නාටකීය හා අපූර්ව දෑ පමණක් තෝරාගන්නා කතුවරයා අවසානයේ පාඨකයාගේ ජීවිත පරිඥාණය පුළුල් කරන්නට සමත් වෙයි.

උපුටා ගැනීම අවසන්.

මෙම පොතෙහි එන කතා පුවත, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිටි වෙද මහත්මයෙක් වන කොර්නේලියස් ගේ පුත් ලොයිඩ් වටා ගෙතී ඇත. ලොයිඩ් වෘත්තියෙන් නීතීඥවරයෙකි. ඔහුගේ උපතේ සිට සිය මරණය දක්වා මෙම කතා පුවත ගලායන බව මා කීවාට වරදක් නැත.

මෙම පොත මේ වන විට 2013 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ දෙවන වටයට නිර්දේශිත පොත් දොලසට ඇතුලත්ව ඇත. ඔබ දැනටමත් මේ පොත කියවා නොමැති නම් අද හෙටම කියවා රසවිඳින්න.

ග්‍රන්ථ නාමය - කන්දේ වීදිය
ලේඛකයා - කපිල කුමාර කාලිංග
පිටු -  256ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8933-78-7
ප්‍රකාශකයෝ - කිංකිණි ප්‍රකාශණයකි.


මෙම පොත දිවයිනේ සියළුම සරසවි පොත් හල් වලින් හා අංක 469, හයිලෙවල් පාර, මාකුඹුර, පන්නිපිටියේ පිහිටි කිංකිණි ප්‍රකාශකයන්ගෙන් ද ලබා ගත හැක.

Friday, August 9, 2013

ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව | Allen Quartermain

ඇලන් ක්වාටමන් හා ඔහුගේ මිතුරන් එකතුවී අප්‍රිකා මහද්වීපය මධ්‍යයේ සුදු හම ඇති ජාතීන් ජීවත් වන රටක් සොයා වීර චාරිකාවක් දියත්කරයි.එම ගමනට සුලුලන්තයේ ගෝත්‍රික නායකයෙකු වන අම්ස්ලොපොගාස් ද එකතු වේ.

මොවුන් ටානා ගඟ දිගේ ඉහලට යාත්‍රා කරමින් ගමන අරඹයි.

ගඟ දිගේ ඉහලට යන ගමනෙදි ඔවුන්ට ම්ලේඡ්ච මසායි ගෝත්‍රිකයන්ගේ ප්‍රහාරයකටද ගොදුරු වීමට සිදුවේ. කෙසේ හෝ මසායින්ගෙන් දිවි බේරා ගන්නා ඔවූහු නැවතත් ගඟ දිගේ ඉහලට ගමන අරඹයි. ඉන්පසු ප්වුන් අප්‍රිකා මහද්වීපය මධ්‍යයේ ඇති එකම මිසනාරි නිවස වන හයිලන්ඩ්ස් දේවස්ථානයට පැමිණේ.

හයිලන්ස්ඩ් දේවස්ථානයේ නවාතැන් ගන්නා ඔවුන්ට තවත් අත්දැකීමකට මුහුණ දිමට සිදුවේ. එනම්, මිෂනාරිවරයාගේ දුව වන ෆ්ලොසීව මසායිවරුන් විසින් පැහැර ගැනීමයි. මසායිවරුන් හා ක්වාටමේන්ගේ සගයන් අතර අති බිහිසුනු සටනක් ඇති වේ.

ඔවුන්ට කුඩා ෆ්ලොසීව බේරා ගැනීමට හැකි වේද ? කතාවේ ඉතුරු ටික කුමක් වේද ?

මේ ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍ය නම් ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව කියවන්න. කුතුහලය නොඅඩුවම එක ලෙස කියවිය හැකි පරිවර්තනයකි. මෙම පොත සුප්‍රසිද්ධ ලේඛක හෙන්රි රයිඩර් හැගාර්ඩ් විසින් රචනා කර ඇති අතර චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනයකි.

 ග්‍රන්ථ නාමය - ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව
ලේඛකයා - හෙන්රි රයිඩර් හැගාර්ඩ් / චන්දන මෙන්ඩිස්
පිටු -  280ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-9682-80-6
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.


දිවයිනේ සියළුම සරසවි පොත් හල් වලින් මෙම පොත ලබාගත හැක.

Thursday, August 8, 2013

කැදලිගම අන්දරය | Kedaligama Andaraya

මී කිරි වෙලඳාමෙන් සැම්සන් උන්නැහේ සෑහෙන ලබයක් ලබයි. ඔහු බලන් ඉන්නැද්දි මෙන් දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේ. එහෙත් දරුවෙකු නොමැති ශෝකය තවමත් ඔහු තුල කිදා බැස ගොස් ඇත. මේ නිසාම ඔහු ලලිතා නම් වූ තිලකාගේ මිතුරියක් හා විවහා වෙයි.

සැම්සන්ගේ කලින් බිරින්දෑ වූ හෙලේනාහාමි දසසිල් මාතාවක් වීම පිනිස මෙහෙණි ආරාමයට ගියා ය.  සැම්සන් හෙලේනාව කසාද බැන්දද ඔහුට ඈගෙන්වත් දරුපල නොවී ය.

මේ කල වන විට තිලකාගේ දුව ඉගෙනුම සඳහා නගරයේ පාසලකය ගොසින් ය. ඈ ඉතාමත් දක්ෂ සිසුවියක් වූවාය. එසේම ඈ ඉහලින්ම උසස් පෙළ සමත් වූවාය. දිනක් ඈ ගෙදර සිටින දවසක ඈට නදිශ්ව මුණ ගැසිනි. මෙම ඇඳුනුම්කම දුර දිග ගොස් ඈ නදිශ් සමග වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ඕස්ට්‍රේලියාවට යාමට හැකි විය.

ප්‍රියංගා එහිදී නදිශ්ව කසාද බදියි.
ඉන්පසු කතාව කෙසේ දිගහැරේවි ද ? කියවන්න කැදලිගම අන්දරය !

භද්‍රජි මහින්ද ජයතිලකයන්ගේ අන්දර ත්‍රිත්වයේ අවසාන කොටස කැදලිගම අන්දරයයි. පලවෙනි කොටස කතලුගල අන්දරයට මෙතනිනුත් දෙවෙනි කොටස රන්වැල්ලේ අන්දරයට මෙතනිනුත් රිංගන්න.

 ග්‍රන්ථ නාමය - කැදලිගම අන්දරය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  182ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6581-31-7
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.


ඔබත් මෙම පොත කියවා නොමැති නම් කියවා රසවිඳින්න.

Wednesday, August 7, 2013

රන්වැල්ලේ අන්දරය | Ranwelle Andaraya

වල් අලි ප්‍රහාරය නිසා කැදලිගම රක්ෂිතයේදි තනිවූ බොබී හා තිලකා තම ආසාවන් සිතැඟි ලෙස ඉටු කරගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොබී නිසා තිලකා ගැබ් ගත්තාය. මේ වන විට බොබී සිය මවු රට වූ ඇමරිකාවට ගොසිනි. ඈ කෙතරම් වෙහෙස වී බොබීව සෙව්වද ඔහුව හමු වූයේ නැත.

කලක් ගතවූ පසු ඈ නිලූක නම් වූ පුතෙකු බිහි කලාය. තම පුතු නිලුකවද කැටුව බොබීව සෙවීම සඳහා කොළඹ ගියාය. එහිදී ඈට චිත්‍රපටි කණ්ඩායමේ සිටි චන්ද්‍රිකාගේ උදවු ලැබිනි. චන්ද්‍රිකාගි උදව්වෙන් ඈ පිටරට රස්සාවකට ගියා ය. ඈ කලකට පසුව සිය මවු රටට එනවිට තම පුතු නිලූක හා චන්දිකා ආගිය අතක් නොවීය.

තම පුතු නැති සොවින් හා බොබීව සෙවීමේ අසාර්ථක ප්‍රයත්නය හේතුකොටගෙන කලකිරීමට පත් වූ තිලකා, පෙරලා තම ගමට පැමිණියා ය. මේ අල්ල පනල්ලේ සුමන නම් වූ තරුණයෙක් තිලකාව විවහා කරගැනීමට කැමැති විය. ඔවුන් විවහා වූ පසුව තිලකා, ප්‍රියංගා නම් වූ දුවක වැදුවාය.

සුමනත් තිලකාත් ඔවුන් දෙදෙනාගේ දුව වූ ප්‍රියංගාත්  සුමන පවත්වාගෙන හෝටලයේ ජීවත් වූහ. ඉන්පසුව ඔවුන්ගේ ජීවිත වලට සිදු වන්නේ කුමක් ද ?

මෙම පොත භද්‍රජි මහින්ද ජයතිලකයන් රචිත අන්දර ත්‍රිත්වයේ දෙවැන්න වේ. මෙහි පලමුවැන්න කතලුගල අන්දරය පොත ගැන ලිපිය මෙතනින් කියවන්න.

ග්‍රන්ථ නාමය - රන්වැල්ලේ අන්දරය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  254ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8733-41-5
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.


ඔබත් මෙම පොත කියවා නොමැති නම් කියවා රසවිඳින්න.

Tuesday, August 6, 2013

කතලුගල අන්දරය | Kathalugala Andaraya

සැම්සන් සහ ඔහුගේ බිරිඳ කතලුගල ගමේ ජීවත් වු දෙදෙනෙකි.මේ දෙදෙනා ජිවත් වූයේ මීකිරි මූදුකරයේ මිනිසුන්ට අලෙවි කිරීම මඟිනි.ඔවුන් දෙදෙනා මැදි වයස පසු කරමින් සිටිය ද ඔවුන්ට දරුවන් සිටියේ නැත. දරුවන් නොමැතිකමින් හෙලේනාහාමි මෙන්ම සැම්සන් උන්නැහේද ජීවත් වූයේ කනස්සල්ලකිනි.

දිනක් කතලුගල ගමට චිත්‍රපටියක් රූ ගත කිරීමට කණ්ඩායමක් පැමිණියේය. මොවුන් කිරි කද රැගෙන යන සැම්සන්ව දැක ඔහුවද රූ ගත කරන ලදී. පසුව මෙම කණ්ඩායම හා සැම්සන් මිතුරු වූහ.  ඔවුන්ගේ චිත්‍රපටියට තමාවද රූ ගත කල බව හෙලේනාහාමි සමගද ඉන් පසුව තිලකා හා සමගද පැවසී ය.

මේ නිසාම තිලකාටද මෙම චිත්‍රපටියේ රඟපෑමට ආසාවක් ඇති විය. දිනක් කැදලිගම රක්ෂිතයේ පැවති රූගත කිරීමක් බැලීමට ගිය තිලකා ඇතුළු කණ්ඩායමට වල් අලියෙක්ගෙන් ප්‍රහාරයකට මුහුණ දීමට සිදු විය. මෙම ප්‍රහාරයෙන් බේරිමට ඔවුහු හිස ලූ ලූ අත දිවූහ. දෛවයේ හාස්කමකට මෙන් බොබී නම් වූ සුදු ජාතිකයා හා තිලකා දිව ගියේ එකම අතකට ය.

මෙසේ දිව ගිය ඔවුන්ව කණ්ඩායමෙන් මඟහැරිනි. බොබීට හා තිලකා හට තම කණ්ඩායම පැමිණෙන තෙක් රැඳි සිටින ස්ථානයේම තනිවන්නට සිදු විය. මෙලෙස තනිවූ ඔවූහු තම සීමාව ඉක්මවා තම ආසාවන් සපුරාගත්තෝය.

බොබීගේ හා තිලකාගේ ජීවිත වලට ඉන්පසු කුමක් සිදු වේද ?

භද්‍රජි මහින්ද ජයතිලකයන්ගේ අන්දර ත්‍රිත්වයේ පලමුවැන්න වන කතලුගල අන්දරයේ කතාවෙන් බිදක් ඉහත දැක්වේ.මෙම කතාව කොටස් තුනකින් යුක්ත වූවත් තනි තනිව උවද රසවිඳිය හැකි ලෙස ලියවී ඇත. මෙම අන්තර ත්‍රිත්වයේ පලමුවැන්න කතලුගල අන්දරය වන අතර දෙවැන්න රන්වැල්ලේ අන්දරය වේ. තුන්වැන්න කැදලිගම අන්දරය වේ.

ග්‍රන්ථ නාමය - කතලුගල අන්දරය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  158ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8156-91-4
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.


භද්‍රජී රසික ඔබ මෙම පොතද ආසාවෙන් කියවනු ඇතැයි මා සිතමි.

Monday, August 5, 2013

දොස්තොර කතා | Dosthora Katha

මෙම පොත කෙටි කතා එකතුවක් ලෙස හැඳින්විය හැකි ය. කෙටි කතා කීවාට මෙහි එන සියළුම කතා වලින් අපට ඉගැනුමට පාඩමක් වෙයි. අප එදිනෙදා ජීවිතයේ දි සිදුකරන අත්වැරදීම් සියුම් හාස්‍යයට ලක් කර එයින් යමක් උකහා ගත හැකි ලෙස රචිත කෘතියකි.

තවද මෙහි එන කතා සියල්ලම වෛද්‍ය චන්න සුදත් ජයසුමන විසින් විදුසරට රචනා කරන ලද ලිපි පෙල වේ.

අප එදිනෙදා දකින්නට අහන්නට ලැබෙන විවිධ වූ සිදුවීම් දොස්තර කෙනෙකුගේ ඇසින් හා ඔහුගේ අත්දැකිම් වලින් විස්තර කෙරෙන කතා  සමූහයකි.

මෙම පොත ඉතාම සරල බසකින් ලියා ඇති නිසා එක හුස්මටම කියවා ගෙන යා හැකි ය.  මේ පොත ගැන වැඩි දුරටත් මා කියනවාට වඩා ඔබම කියවා බැලීම සුදුසු බව මගේ අදහසයි.


මෙම පොත සූරිය ප්‍රකාශනයකි.

Saturday, August 3, 2013

සිහිනයක රැඳි රහසක් | Sihinayaka Redi Rahasak

පීටර් ප්‍රවුඩ් කැලිෆෝනියා සරසවියේ මහචාර්යවරයෙකි. ඔහු සෑම රාත්‍රියකම පාහේ එකම ආකරයේ සිහිනයක් දකී.ඔහු දකින සිහිනය වන්නේ මිනිසෙකු ගඟක පිහිනමින් සිටියදී ගිලී මිය යන දර්ශනයකි. එම දර්ශනය දකිනවාත් සමඟම ඔහු "මර්සියා...එපා ! " යැයි ඔහුගේ නොවන හඬකින් කෑ ගසා අවදි වේ.

මෙමෙ සිහිනය ප්‍රවුඩ් මහචාර්යවරයාට මෙන්ම ඔහුගේ බිරිඳට ද මානසික වදයක් විය. මේ නිසා ඔහු විවිධ සිහින පර්යේෂණාගාරවල සහය ද විවිධ ප්‍රතිකාර ක්‍රම ද අත්හදා බලයි.

දිනක් ඔහු සවස් වරුවක රූපවාහිනිය නරඹන අතරතුර දී වාර්තාමය වැඩසටහනක් විකාශනය වේ. එහි අන්තර්ගතය වන්නේ "එදා සහ අද ඇමරිකාව" යන්නයි. එම වැඩසටහනේ එක් දර්ශනයකදි ඔහු සිහින වලදී හුරු පුරුදු පරිසරයම දකී. මේ හෝඩුවාව ඔස්සේ ගොස් ඔහුගේ මෙම අත්භූත සිහින වල තේරුම සොයා ගනී.

ඉහතින් දක්වා ඇත්තේ චන්දන මෙන්ඩිස් මහතා අතින් පරිවර්තනය වූ සිහිනයක රැඳි රහසක් පොතේ ඇති කතාවෙන් කොටසකි.මෙය කුතුහලයෙන් යුතුව කියවිය හැකි නවකතාවකි.

ග්‍රන්ථ නාමය - සිහිනයක රැඳි රහසක්
පරිවර්තනය - චන්දන මෙන්ඩිස්
පිටු -  303ක් වේ.
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.



 මෙම කෘතිය 1975 වසරේ දී ජේ. ලී තොම්සන් අතින් සිනමාවට නැගුනි. මෙම පොත මැක්ස් සීමන් ගේ The Reincarnation of Peter Proud නම් වූ කෘතියේ පරිවර්තනයකි.

චන්දන මෙන්ඩිස් මහතාගේ පරිවර්තන වලට කැමති ඔබ අනිවාර්යෙන්ම මෙම පොත ද කියවා රසවිඳිනු ඇත.
මෙම පොත දිවයිනේ ඕනෑම සරසවි පොත් හලකින් වුවද ලබා ගත හැක.