Thursday, September 5, 2013

සසර සරන්නෝ | Sasara Saranno

සුන්දරම් හා තංගමනී යුවල ගඟ අසල පිහිටි දුගී පැලක ජීවත් වූ දෙදෙනෙකි. ඔවුන්ට ජානකී නම් වූ දුවක් ද රංගනාදන් නම් වූ පුතෙක්ද සිටියෝය. මේ සියළුම දෙනා ජීවත් වූයේ සුන්දරම්, යකඩ කෑලි විකුණා ලැබෙන ආදායමෙනි. තංගමනී දරුවන් දෙදෙනාද රැකබලාගෙන ගෙදර දොර වැඩ කටයුතු කරමින් කාලය ගත කලා ය.

දිනක් සුන්දරම් දෙමල කෝලහාලයකට මැදි විය.උරණ වූ සිංහලයන් සුංදරම්ගේ ඇඟට පෙට්‍රල් වත් කර ගිනි තිබ්බේ ය. මේ සිදුවීම් සියල්ල ඔහුගේ පවුලේ අය ඉමහත් ශෝකයකින් බලා සිටියෝ ය.

සුන්දරම්ගේ අකල් වියෝවත් සමග ඔහුගේ පවුලේ සියළු දෙනාම යාපනය බලා පිටත් විය.

එතකින් සුන්දරම් හා තංගමනිගේ කතා පුවත සහිත පරිච්ඡේදය අවසාන වේ.ඉන්පසු පටන් ගැනෙන්නේ වික්ටර් හේනේගමගේ සහ මල්ලිකාගේ කතා පුවත සහිත පරිච්ඡේදය වේ. ඉන් අනතුරුව ලයනල්ගේ සහ අනුලාගේ ආදර අන්දරය දිග හැරේ.

මෙම කතාව විවිධ පරිච්ඡේද වලට වෙන් වූවත් සංසාරික ලෙස අප වියෝජනය නොවී පවතින බවත්  එක් ආත්මයක දෙමල ජාතිකයෙක් ලෙස ඉපිද තවත් ආත්මයක සිංහලයෙකුව ඉපිද මියෙන සංසාර චක්‍රයක කොටස් කරුවන් බව කියාපාන නවකතාවකි.

මෙම එක් එක් චරිත පෙර ආත්ම වල කවුරුන් ලෙස සිටියා දැයි  කියාපාන අපූරු නවකතාවකි. තව ද මෙම නවකතාව පරිච්ඡේද ලෙස වෙන්වී තිබුණද අවසානයේ එක් එක් චරිත එකතු වී සංසාර චක්‍රය සම්පූර්ණ කරයි. මේ නිසා පාඨකයා තුල පවතින කුතුහලය කතාවේ අන්තිම පරිච්ඡේදය කරා යනතෙක් සුරැකිව පවති.

 සසර සරන්නෝ කෘතිය භද්‍රජි මහින්ද ජයතිලකයන් විසින් රචිත භීෂණ නවකතා වලින් එකකි. එසේම එක හුස්මටම කියවාගෙන යාම සඳහා පාඨකයාව පොලබවන කෘතියක් බව මා පැවසිය යුතුමය.

ග්‍රන්ථ නාමය - සසර සරන්නෝ
ලේඛකයා -  භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  120ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-5911-49-2
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.


භද්‍රජි පාඨක ඔබ මේ පොත ඉමහත් ආසාවෙන් කියවනු ඇතැයි මා සිතමි.
දිවයිනේ ඕනම සරසවි පොත් හලකින් හෝ ස්ටැම්ෆර්ඩ් ලේක් පොත් හල් වලින් ලබා ගත හැකි ය.

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?