Monday, February 4, 2013

ස්වයංජාත | Swayanjatha

පබිලිනාහාමි නම් වූ කාන්තාව හට දරුවෙකු නොමැති කමින් දින දින ශෝකයෙන් පසුවෙන්නට විය. පසුව ඈ ගමේ පංසලේ විසූ යක්කුටිගල නාහිමියන්ගෙන් ප්‍රතිකාර ගැනීම සදහා යන්නීය. ප්‍රතිකාර වලට පසුව ඈ දරුවෙක් ලබන්නීය.

නමුත් මෙම දරුවා පිය පාර්ශවයේ හෝ මව් පාර්ශවයේ රූප ලක්ෂණ සහිතව උපත ලැබූ අයෙක් නොවීයෑ.  එම දරුවා යක්කුටිගල හිමියන්ගේ රුව සහිතව උපන්නෙකි. මෙම දරුවාට හිමියන්ගේ හැඩහුරුකම ලැබුනේ කෙසේද යන්න දැන ගැනීමට අවශ්‍ය නම් මෙම කෘතිය කියවිය යුතු මය.

ග්‍රන්ථ නාමය - ස්වයංජාත
ලේඛකයා - සමරවීර විජයසිංහ
පිටු -  273ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN 978-955-656-052-7

 පොතේ කවරය 

පහතින් දැක්වෙන්නේ මෙම පොතේ පිටකවරයෙන් ගත් උපුටනයකි.

මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත්  නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහුතුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද ? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද ?නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද ?

එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද ?

මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු අවශ්‍ය නම් ස්වයංජාති කෘතිය කියවන්න.

මෙම කෘතිය, 2008 වර්ශයේ හොඳම කෘතිය සඳහා වන ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍ර වී ඇත.
මෙම පොත, සූර්ය ප්‍රකාශනයකි.

කන්දක් සේමා | Kandak Sema

කන්දක් සේමා කෘතිය ජනප්‍රිය ලේඛක සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ නිර්මාණයකි.

ග්‍රන්ථ නාමය - කන්දක් සේමා
ලේඛකයා -  සුමිත්‍රා රාහුබද්ධ
පිටු - 270ක්
ග්‍රන්ථ අංකය -  ISBN 978-955-1470-19-7

පොතේ පිටකවරය

නූපා නම් වූ කාන්තාවක් වටා මෙම කතා වස්තුව ගෙතේ. එලෙසම කාන්තාවක් වශයෙන් විඳින්නට සිදු වන විවිධ දුක් ගැහැට මනාව මෙම කෘතිය තුල චිත්‍රණය කර ඇත. මා කියනවාට වඩා කතුවරියගේ වදන් වලින්ම මේ ගැන විමසා බැලීම වටී. පහතින් දැක්වෙන්නේ එම කෘතියේ පිටකවරයෙන් ගත් උපුටනයකි.


නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපෙන අරුමය බලන්න නෙවෙයි.

තමුන්ගේ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපව ජපානයට පිටුවහල් කරනවා.

නූපා නීගතාවේ සන්ජෝ නගරයේ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්තු තමන්ගේ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි.සිමිකාවා පරම්පරාවේ මළවුන් ඇවිත්,ලංකාවෙන් ආව ඥාතිය ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය - නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.

පෙකණිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදල දානවා.

මේ සැරිසරන්නිය සොයා යමු.

මෙම කෘතිය සඳහා 2010 වසරේදි සියළුම සමානයන්ට පාත්‍ර වී ඇත. එනම්,

ස්වර්ණ පුස්තක සම්මානය 2010
විද්‍යෝදය සාහිත්‍ය සම්මානය 2010
ගොඩගේ සාහිත්‍යය සම්මානය 2010
රාජ්‍ය සාහිත්‍ය සම්මානය 2010
අළුත් පියාපත් සම්මානය 2010

යන සම්මාන සියල්ලම මෙම කෘතිය අත් පත් කරගෙන ඇත.

මෙම කෘතිය,
Platform for Alternate Culture
96/37A, කොට්ටනුවත්ත පාර, නුගේගොඩ ආයතනයේ ප්‍රකාශනයක්.

Friday, January 25, 2013

ගුරු ගීතය | Guru Geethaya

ගුරු ගීතය එසේත් නැත්නම් The First Teacher කෘතිය චිංගීස් අයිත්මාතව් නම් රුසියානු ලේඛකයා විසින් රචිත කෘතියකි. එය සිංහලයට පරිවර්තනය කර ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු මහතා ය.

අයිලය නම් ගමක වෙසෙන අල්තිනායි නම් වූ දැරිය හා එම ගමට පැමිණ පාසලක් පටන් ගෙන ගම්වල ළමුන්ට ඉගැන්වීම් කටයුතු කරන දුයිශෙන් නම් වූ ගුරුවරයෙකු වටා ගෙතී ඇති කතවකි, ගුරු ගීතය.පාසල පවත්වා ගෙන යාමෙදී හා ඉගැනුම් කාර්යේදි ඔවුම් මුහුන දෙන අසීරුතා මෙම කෘතියෙන් මනාව පිළිඹිබු වේ.

ග්‍රන්ථ නාමය : ගුරු ගීතය
ලේඛකයා : චිංගීස් අයිත්මාතව්
අනුවාදය : දැදිගම වී. රුද්‍රිගු
පිටු : 99-100 අතර



මිලදී ගත හැකි ස්ථාන : සියළුම සරසවි පොත් අලෙවිහල්
                                   කුරුලු පොත් ප්‍රකාශකයෝ, 594/1, නාවල පාර, රාජගිරිය

ඔව්..ශිත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තකයි...
- ගුරු ගීතය කෘතියෙනි.

 මම කම්කරු විද්‍යලයේ ඉගෙන ගන්නා සමයෙදි මගේ පළවෙනි ගුරුවරයාට ලිපියක් ලියමින් , ඔහුට පෙම් කරන බවත් ඔහු පතන බවත් කීවෙමි. එහෙත් ඔහු පිළිතුරු ලීවේ නත. ඉන්පසු අප අතර ලියුම් ගනුදෙනු නතර විය. ඔහු මා ප්‍රතික්ෂේප කළේ මගේ ඉගෙනීමට බාධාවක් වෙතැයි යන බියෙනැයි මට සිතින. සමහර විට ඔහු නිවැරදි වන්නට පුළුවන...
-ගුරු ගීතය කෘතියෙනි.

කියවා රසවිඳිය හැකි කෘතියකි. එම නිසා ඔබ මේ කෘතිය තවම නොකියෙව්වේ නම් කියවා බලන්න.
මෙම කෘතිය බාගත කර ගැනීමට මෙතන ක්ලික් කරන්න.

පටන් ගැන්ම

මම මින් විසිතුරු !
මට පොඩි කාලේ විනෝදාංශ ගොඩක් තිබ්බා ඒ අතරින් ප්‍රාධානම විනෝදාංශය උනේ මාළු ඇති කරන එක. ඊට පස්සේ මගේ විනෝදාංශය තමා පොත් කියවන එක. අතට අහුවෙන ඕනම පොතක් පත්තරයක් කියවන එක මගේ පුරුද්දක් වෙලා තිබ්බා. මින් විසිතුරුට අකුරු කියවපු දා ඉදලම අම්මා ගෙනත් දෙන්නේ මොකක් හරි පොතක් එහෙමත් නැත්නම් පත්තරයක්.

ඔයාලට මතකද හෝඩි පොතට පස්සේ ඊලඟට කියවපු පොත මොකද්ද කියලා ? මින් විසිතුරුට නම් අම්මා ගෙනත් දීපු "කඩමාලි" කියන පොත තමා හෝඩි පොතට පස්සේ කියවපු පළවෙනිම පොත. ඉස්කෝලේ යන දවස්වල නම් මින් විසිතුරු මොනාහරි කතා පොතක් දවස ගානේ කියවන එක පුරුද්දක් වෙලා තියෙනවා.

මින් විසිතුරු කියන්නේ ස්වබාවයෙන්ම ටිකක් දඟ කරන සෙල්ලමට බර චරිතයක්. (හොඳ ටික !)
ඉතින් මින් විසිතුරු පංතියේ ඉන්නවට වඩා කොයි වෙලෙත් පංතියෙන් එළියට දාලා ඉන්නේ.අන්න ඒ වෙලාව තමා මින් විසිතුරු කොහෙවත් රැඳෙන්නේ නැතුව කෙලින්ම යන්නේ පුස්තකාලයට. මින් විසිතුරු හිටපු ඉස්කෝලේ පුස්තකාලාධිපති තුමියත් දන්නවා මින් විසිතුරුවා පුස්තකාලයට එනවා නම් අනිවර්යෙන්ම වැරැද්දක් කරලයි කියලා.

"ඔය දරුවා අද මොකද්ද කරපු වැරැද්ද ?"

පුස්තකාලාධිපති තුමිය සිනහමුසු මුහුනින් අහන අනිවාර්ය ප්‍රශ්නයක් තමයි ඕක.

"මුකුත් වැරැද්දක් කරලා නෑ ටීචර්"

මින් විසිතුරුවා එහෙම කිව්වට ටීචර් දන්නවා අනිවාර්යෙන්ම පන්තියෙන් පිටුවහල් කරලා කියලා.පංතියෙන් එළියට දැම්මට පස්සෙත් එහේ මෙහේ සෙල්ලම් කරන්න කැන්ටිමට වෙලා කාළය කන්නෙ නැතුව පුස්තකාලයට ඇවිදින් මොනාහරි ඉගෙන ගන්න නිසා පුස්තකාලාධිපතිනියත් මුකුත් කියන්නේ නෑ. අපේ පුස්තකාලාධිපතිනිය කියවපු මොකක් හරි හොඳ පොතක් තියෙනවා නම් ඒක ගැන මින් විසිතුරුට කියලා දෙන එක එයාගේ සිරිතක් !

මින් විසිතුරු ඒ විස්තර අහගෙන ඉන්නේ හරිම ආසවකින්.
ඉස්කෝලෙන් අයින් වෙලා එක එක රස්සාවල් කිහිපයක් කරන්න පටන් ගත්තට පස්සේ හැම පඩි දවසකටම පොතක් ගන්න එක මින් විසිතුරුගේ සිරිතක්. දැන් කරන දත්ත ඇතුල් කිරීමේ රස්සාවේ පඩිය ටිකක් විතර හොඳ නිසා මාසෙකට පොත් දෙක ගානේ ගන්නවා. ඒ නිසාම මින් විසිතුරුට පුංචි පහේ පුස්තකාලයකුත් ගෙදරම තියෙනවා.

මම මේ බ්ලොග් එකෙන් මම කියවන පොත් ගැන පොඩි විස්තරයක් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මගේ මාළු ටැංකිය බ්ලොග් එක වගේම මේ බ්ලොග් එකත් සති අන්තයේ යාවත්කාලීන වෙයි. මාසෙකට ලිපි හතරක් ලියන්න තමා බලාපොරොත්තුව.

මාත්තෙක්ක ඔයාලා රැඳී සිටීවි කියලා මින් විසිතුරු බලාපොරොත්තු වෙනවා.
එහෙනම් පොතක් ගැන තතු වලින් හමුවෙමු.
ජයවේවා !