Thursday, August 8, 2013

කැදලිගම අන්දරය | Kedaligama Andaraya

මී කිරි වෙලඳාමෙන් සැම්සන් උන්නැහේ සෑහෙන ලබයක් ලබයි. ඔහු බලන් ඉන්නැද්දි මෙන් දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේ. එහෙත් දරුවෙකු නොමැති ශෝකය තවමත් ඔහු තුල කිදා බැස ගොස් ඇත. මේ නිසාම ඔහු ලලිතා නම් වූ තිලකාගේ මිතුරියක් හා විවහා වෙයි.

සැම්සන්ගේ කලින් බිරින්දෑ වූ හෙලේනාහාමි දසසිල් මාතාවක් වීම පිනිස මෙහෙණි ආරාමයට ගියා ය.  සැම්සන් හෙලේනාව කසාද බැන්දද ඔහුට ඈගෙන්වත් දරුපල නොවී ය.

මේ කල වන විට තිලකාගේ දුව ඉගෙනුම සඳහා නගරයේ පාසලකය ගොසින් ය. ඈ ඉතාමත් දක්ෂ සිසුවියක් වූවාය. එසේම ඈ ඉහලින්ම උසස් පෙළ සමත් වූවාය. දිනක් ඈ ගෙදර සිටින දවසක ඈට නදිශ්ව මුණ ගැසිනි. මෙම ඇඳුනුම්කම දුර දිග ගොස් ඈ නදිශ් සමග වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ඕස්ට්‍රේලියාවට යාමට හැකි විය.

ප්‍රියංගා එහිදී නදිශ්ව කසාද බදියි.
ඉන්පසු කතාව කෙසේ දිගහැරේවි ද ? කියවන්න කැදලිගම අන්දරය !

භද්‍රජි මහින්ද ජයතිලකයන්ගේ අන්දර ත්‍රිත්වයේ අවසාන කොටස කැදලිගම අන්දරයයි. පලවෙනි කොටස කතලුගල අන්දරයට මෙතනිනුත් දෙවෙනි කොටස රන්වැල්ලේ අන්දරයට මෙතනිනුත් රිංගන්න.

 ග්‍රන්ථ නාමය - කැදලිගම අන්දරය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  182ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6581-31-7
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.


ඔබත් මෙම පොත කියවා නොමැති නම් කියවා රසවිඳින්න.

Wednesday, August 7, 2013

රන්වැල්ලේ අන්දරය | Ranwelle Andaraya

වල් අලි ප්‍රහාරය නිසා කැදලිගම රක්ෂිතයේදි තනිවූ බොබී හා තිලකා තම ආසාවන් සිතැඟි ලෙස ඉටු කරගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොබී නිසා තිලකා ගැබ් ගත්තාය. මේ වන විට බොබී සිය මවු රට වූ ඇමරිකාවට ගොසිනි. ඈ කෙතරම් වෙහෙස වී බොබීව සෙව්වද ඔහුව හමු වූයේ නැත.

කලක් ගතවූ පසු ඈ නිලූක නම් වූ පුතෙකු බිහි කලාය. තම පුතු නිලුකවද කැටුව බොබීව සෙවීම සඳහා කොළඹ ගියාය. එහිදී ඈට චිත්‍රපටි කණ්ඩායමේ සිටි චන්ද්‍රිකාගේ උදවු ලැබිනි. චන්ද්‍රිකාගි උදව්වෙන් ඈ පිටරට රස්සාවකට ගියා ය. ඈ කලකට පසුව සිය මවු රටට එනවිට තම පුතු නිලූක හා චන්දිකා ආගිය අතක් නොවීය.

තම පුතු නැති සොවින් හා බොබීව සෙවීමේ අසාර්ථක ප්‍රයත්නය හේතුකොටගෙන කලකිරීමට පත් වූ තිලකා, පෙරලා තම ගමට පැමිණියා ය. මේ අල්ල පනල්ලේ සුමන නම් වූ තරුණයෙක් තිලකාව විවහා කරගැනීමට කැමැති විය. ඔවුන් විවහා වූ පසුව තිලකා, ප්‍රියංගා නම් වූ දුවක වැදුවාය.

සුමනත් තිලකාත් ඔවුන් දෙදෙනාගේ දුව වූ ප්‍රියංගාත්  සුමන පවත්වාගෙන හෝටලයේ ජීවත් වූහ. ඉන්පසුව ඔවුන්ගේ ජීවිත වලට සිදු වන්නේ කුමක් ද ?

මෙම පොත භද්‍රජි මහින්ද ජයතිලකයන් රචිත අන්දර ත්‍රිත්වයේ දෙවැන්න වේ. මෙහි පලමුවැන්න කතලුගල අන්දරය පොත ගැන ලිපිය මෙතනින් කියවන්න.

ග්‍රන්ථ නාමය - රන්වැල්ලේ අන්දරය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  254ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8733-41-5
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.


ඔබත් මෙම පොත කියවා නොමැති නම් කියවා රසවිඳින්න.

Tuesday, August 6, 2013

කතලුගල අන්දරය | Kathalugala Andaraya

සැම්සන් සහ ඔහුගේ බිරිඳ කතලුගල ගමේ ජීවත් වු දෙදෙනෙකි.මේ දෙදෙනා ජිවත් වූයේ මීකිරි මූදුකරයේ මිනිසුන්ට අලෙවි කිරීම මඟිනි.ඔවුන් දෙදෙනා මැදි වයස පසු කරමින් සිටිය ද ඔවුන්ට දරුවන් සිටියේ නැත. දරුවන් නොමැතිකමින් හෙලේනාහාමි මෙන්ම සැම්සන් උන්නැහේද ජීවත් වූයේ කනස්සල්ලකිනි.

දිනක් කතලුගල ගමට චිත්‍රපටියක් රූ ගත කිරීමට කණ්ඩායමක් පැමිණියේය. මොවුන් කිරි කද රැගෙන යන සැම්සන්ව දැක ඔහුවද රූ ගත කරන ලදී. පසුව මෙම කණ්ඩායම හා සැම්සන් මිතුරු වූහ.  ඔවුන්ගේ චිත්‍රපටියට තමාවද රූ ගත කල බව හෙලේනාහාමි සමගද ඉන් පසුව තිලකා හා සමගද පැවසී ය.

මේ නිසාම තිලකාටද මෙම චිත්‍රපටියේ රඟපෑමට ආසාවක් ඇති විය. දිනක් කැදලිගම රක්ෂිතයේ පැවති රූගත කිරීමක් බැලීමට ගිය තිලකා ඇතුළු කණ්ඩායමට වල් අලියෙක්ගෙන් ප්‍රහාරයකට මුහුණ දීමට සිදු විය. මෙම ප්‍රහාරයෙන් බේරිමට ඔවුහු හිස ලූ ලූ අත දිවූහ. දෛවයේ හාස්කමකට මෙන් බොබී නම් වූ සුදු ජාතිකයා හා තිලකා දිව ගියේ එකම අතකට ය.

මෙසේ දිව ගිය ඔවුන්ව කණ්ඩායමෙන් මඟහැරිනි. බොබීට හා තිලකා හට තම කණ්ඩායම පැමිණෙන තෙක් රැඳි සිටින ස්ථානයේම තනිවන්නට සිදු විය. මෙලෙස තනිවූ ඔවූහු තම සීමාව ඉක්මවා තම ආසාවන් සපුරාගත්තෝය.

බොබීගේ හා තිලකාගේ ජීවිත වලට ඉන්පසු කුමක් සිදු වේද ?

භද්‍රජි මහින්ද ජයතිලකයන්ගේ අන්දර ත්‍රිත්වයේ පලමුවැන්න වන කතලුගල අන්දරයේ කතාවෙන් බිදක් ඉහත දැක්වේ.මෙම කතාව කොටස් තුනකින් යුක්ත වූවත් තනි තනිව උවද රසවිඳිය හැකි ලෙස ලියවී ඇත. මෙම අන්තර ත්‍රිත්වයේ පලමුවැන්න කතලුගල අන්දරය වන අතර දෙවැන්න රන්වැල්ලේ අන්දරය වේ. තුන්වැන්න කැදලිගම අන්දරය වේ.

ග්‍රන්ථ නාමය - කතලුගල අන්දරය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  158ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8156-91-4
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.


භද්‍රජී රසික ඔබ මෙම පොතද ආසාවෙන් කියවනු ඇතැයි මා සිතමි.

Monday, August 5, 2013

දොස්තොර කතා | Dosthora Katha

මෙම පොත කෙටි කතා එකතුවක් ලෙස හැඳින්විය හැකි ය. කෙටි කතා කීවාට මෙහි එන සියළුම කතා වලින් අපට ඉගැනුමට පාඩමක් වෙයි. අප එදිනෙදා ජීවිතයේ දි සිදුකරන අත්වැරදීම් සියුම් හාස්‍යයට ලක් කර එයින් යමක් උකහා ගත හැකි ලෙස රචිත කෘතියකි.

තවද මෙහි එන කතා සියල්ලම වෛද්‍ය චන්න සුදත් ජයසුමන විසින් විදුසරට රචනා කරන ලද ලිපි පෙල වේ.

අප එදිනෙදා දකින්නට අහන්නට ලැබෙන විවිධ වූ සිදුවීම් දොස්තර කෙනෙකුගේ ඇසින් හා ඔහුගේ අත්දැකිම් වලින් විස්තර කෙරෙන කතා  සමූහයකි.

මෙම පොත ඉතාම සරල බසකින් ලියා ඇති නිසා එක හුස්මටම කියවා ගෙන යා හැකි ය.  මේ පොත ගැන වැඩි දුරටත් මා කියනවාට වඩා ඔබම කියවා බැලීම සුදුසු බව මගේ අදහසයි.


මෙම පොත සූරිය ප්‍රකාශනයකි.

Saturday, August 3, 2013

සිහිනයක රැඳි රහසක් | Sihinayaka Redi Rahasak

පීටර් ප්‍රවුඩ් කැලිෆෝනියා සරසවියේ මහචාර්යවරයෙකි. ඔහු සෑම රාත්‍රියකම පාහේ එකම ආකරයේ සිහිනයක් දකී.ඔහු දකින සිහිනය වන්නේ මිනිසෙකු ගඟක පිහිනමින් සිටියදී ගිලී මිය යන දර්ශනයකි. එම දර්ශනය දකිනවාත් සමඟම ඔහු "මර්සියා...එපා ! " යැයි ඔහුගේ නොවන හඬකින් කෑ ගසා අවදි වේ.

මෙමෙ සිහිනය ප්‍රවුඩ් මහචාර්යවරයාට මෙන්ම ඔහුගේ බිරිඳට ද මානසික වදයක් විය. මේ නිසා ඔහු විවිධ සිහින පර්යේෂණාගාරවල සහය ද විවිධ ප්‍රතිකාර ක්‍රම ද අත්හදා බලයි.

දිනක් ඔහු සවස් වරුවක රූපවාහිනිය නරඹන අතරතුර දී වාර්තාමය වැඩසටහනක් විකාශනය වේ. එහි අන්තර්ගතය වන්නේ "එදා සහ අද ඇමරිකාව" යන්නයි. එම වැඩසටහනේ එක් දර්ශනයකදි ඔහු සිහින වලදී හුරු පුරුදු පරිසරයම දකී. මේ හෝඩුවාව ඔස්සේ ගොස් ඔහුගේ මෙම අත්භූත සිහින වල තේරුම සොයා ගනී.

ඉහතින් දක්වා ඇත්තේ චන්දන මෙන්ඩිස් මහතා අතින් පරිවර්තනය වූ සිහිනයක රැඳි රහසක් පොතේ ඇති කතාවෙන් කොටසකි.මෙය කුතුහලයෙන් යුතුව කියවිය හැකි නවකතාවකි.

ග්‍රන්ථ නාමය - සිහිනයක රැඳි රහසක්
පරිවර්තනය - චන්දන මෙන්ඩිස්
පිටු -  303ක් වේ.
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.



 මෙම කෘතිය 1975 වසරේ දී ජේ. ලී තොම්සන් අතින් සිනමාවට නැගුනි. මෙම පොත මැක්ස් සීමන් ගේ The Reincarnation of Peter Proud නම් වූ කෘතියේ පරිවර්තනයකි.

චන්දන මෙන්ඩිස් මහතාගේ පරිවර්තන වලට කැමති ඔබ අනිවාර්යෙන්ම මෙම පොත ද කියවා රසවිඳිනු ඇත.
මෙම පොත දිවයිනේ ඕනෑම සරසවි පොත් හලකින් වුවද ලබා ගත හැක.