Sunday, July 14, 2013

උත්පලවන්නාවේ භූත කෙළිය | Uthpalawannawe Bhootha Keliya

උත්පලවන්නාව නම් වූ බාලිකා පාසලක නේවාසිකාගාරයේ සිටිනා සිසුවියන් කිහිප දෙනෙකි. දිනක් ඔවුන් එක් කාමරයකට එකතු වී විවිධ දේ ගැන කතා කර කර ඉන්නට විය. ඔවුන්ගෙන් එක් අයෙක් භූත ලෑල්ලක් ගැන් තම මිතුරියන්ට විස්තර කලා ය.

භූත ලෑල්ලක් නිර්මාණය කර එයට මලගිය ප්‍රාණකාරයෙක් ගෙන්වා විවිධ අනාවැකි දැන ගන්නා ආකාරය ගැන ඇය තම යෙහෙළියන්ට පවසන්නී ය. ඒ ඔස්සේ ඇයගේ යෙහෙළියන් ද භූත ලෑල්ලක් නිර්මාණය කරගෙන භූතයින් ගෙන්වා සාස්තර අසන්නී ය.

නේවාසිකාගාරයේ වෙසෙන සියල්ලන් නිවාඩු දිනවල නුවර මාළිගාව වැඳපුදා ගැනීමට ගිය විටෙක පිරිමි ළමුන් කිහිප දෙනෙක් දකියි. මෙම ගැහැනු ළමුන්ගෙන් එක් අයෙක් එම පිරිමි ළමුඟෙන් එක් අයෙක් හා හාද වෙයි. ඔවුන් අතර විවිධ ලියුම් හුවමාරු වීම් ද සිදු වේ.

මෙසේ කල් යවන මිතුරියන්ගෙන් අයෙක් කෑමක් විසවී මිය යයි. ඇය මිය ගියේ කෙසේ ද ? ඇයගේ මිය යාමට හේතුව භූත ලෑල්ලෙන් අනාවරණය කර ගත හැකි වේ ද ?

නිදහසේ ගලාගෙන සරල සුගම බස් වහරක් ඔස්සේ උත්පලවන්නාවේ භූත කෙළිය කතාව රසවිඳින්නැයි මා ඔබට ආරාධනා කරමි. ඔබ භද්‍රජී රසිකයෙක් නම් මෙය අනිවාර්යෙන්ම කියැවිය යුතු පොතකි.

මෙය යොවුන් නවකතා ගණයට වැටෙන කුතුහලය එක ලෙසම අවසානය තෙක් රඳවා තබා ගන්නා පාඨකයාව පොතටම ඇද බැද තබා ගන්නා කෘතියකි.

ග්‍රන්ථ නාමය - උත්පලවන්නාවේ භූත කෙළිය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  240ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  955-573-193-4
ප්‍රකාශකයෝ - සරසවි ප්‍රකාශණයකි. 


පහතින් දක්වා ඇත්තේ එම පොතෙන් උපුටා ගත් පාඨ කිහිපයකි.

"හොල්මන් කියන්නේ සේරම හිතේ - මලිතා !
ඒක නේ - හොල් - මන් කියන්නේ හෙළවෙන හිතට !"

 ---------

"නොපෙනෙන මායාවකට බිය නොවන අප, පෙනෙන මායාවකට බිය විය යුතු ද? ඒත් නැත්නම් පෙනෙන මායාවකට බිය නොවන අප - නොපෙනෙන මායාවකට බිය විය යුතු ද ?"

---------

"සේරම ඇත්ත - කවුරුවත් - කවදාවත් - දැන ගන්නේ නැහැ - මලියො !"

--------

කාසියක් හෝ වීදුරුවකට භූතයෙක් ගෙන්වා අනාවැකි පවසා ගන්නා ආකාරය දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ මෙම පොත කියැවිය යුතුම ය.

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?